Sep 20, 2019

ගෝඨා හැර බැසිල්ගෙන් තවත් අපේක්ෂකයෝ 2ක් Featured

ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු ද එක් අපේක්ෂිකාවක් ද ඊයේ (19) මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත්කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එස්. අමරසිංහ සහ ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ද ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයෙන් අජන්තා පෙරේරා මහත්මිය ද එසේ ඇප මුදල් තැන්පත්කර ඇත.

ජනාධිපතිවරණයට තරග කරන බව පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින අපේක්ෂකයන් 17 දෙනෙක් තරග කරන බව මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.

ඒ අය ඉදිරි දින කිහිපයේ ඇප මුදල් තැන්පත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 20කට වැඩි පිරිසක් ඉදිරිපත්වනු ඇතැයි පෙනී යන බවද එම නිලධාරියා පැවැසුවේය.

පිළිගත් දේශපාලන පක්ෂ 70ක් පවතින බවත් ගැටලු සහ දෝෂ හේතුවෙන් එම පක්ෂ අතුරින් 7කට ජනාධිපතිවරණයට තරග කළ නොහැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ ඊයේ (19) ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කළ දෙදෙනෙකු පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ විකල්ප අපේක්ෂකයන් ලෙස ඇපමුදල් තැන්පත්කර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වන බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top