Sep 20, 2019

දේශගුණික විපර්යාස විසඳන්නැයි ගෝලීය විරෝධතාවයක්

ලබන සතියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට පෙරාතුව රටවල් ගණනාවක ජනයාගේ සහභාගීත්වයෙන් ලොව පුරා විරෝධතා දිනයක් අද (20) දිනයේදී ආරම්භ විය.

සියා පැසිෆික් කලාපය පුරා නගර සහ නගරවලට රැස් වූ මෙම විරෝධතාකරුවන්ගෙන් බොහෝ දෙනෙක් පාසල් සිසුන් වීම සුවිශේෂී කරුණක් විය.

මුහුදු මට්ටම හේතුවෙන් අවදානමට ලක්ව ඇති නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ තායිලන්තය හා පැසිෆික් දූපත් වල විරෝධතාකරුවන්, දේශගුණික අර්බුදය විසඳීමට හා පාරිසරික ව්‍යසනයක් වැළැක්වීමට අවශ්‍ය හදිසි පියවර ගන්නා ලෙස සිය රජයන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම ගෝලීය විරෝධතාවය පැවැත්වීමට අනුබල දුන් 16 හැවිරිදි ස්වීඩන් ජාතික ග්‍රේටා තූන්බර්ග් ඇගේ සහාය ට්වීට් කර තිබේ.

ලොව විශාලතම ගල් අඟුරු හා ද්‍රව ස්වාභාවික ගෑස් අපනයනය කරන ඕස්ට්‍රේලියාව පුරා නගර 110 ක මේ අයුරින්විරෝධතා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මෙම විරෝධතාවට සහභාගී වීම සඳහා අවම වශයෙන් සමාගම් 2,000 ක් පමණ සිය සේවකයන් හට නිවාඩු ලබා දී ඇති බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කරයි.

අද දිනයේදී රටවල් 150 ක පමණ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම විරෝධතා මාලාවේ ප්‍රධානතම විරෝධතාවය, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටි ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී තූන්බර්ග් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

දේශගුණික විපර්යාස පිළිබඳ ඇගේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් තූන්බර්ග්, නොබෙල් ත්‍යාගයක් සඳහා ද මේ වන විට නම් කර තිබේ.

පොසිල ඉන්ධනවල සිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කරා ගමන් කිරීම ඇතුළුව දේශගුණික විපර්යාස අවම කිරීමේ උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේදී එක්සත් ජාතීන්ගේ සමුළුවක් පැවැත්වීමට නියමිතය.

(උපුටා ගැනීම් : අල්ජසීරා)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top