Sep 23, 2019

අම්මයි දුවයි පැහැරගෙන මුදල් ගන්න හැදූ 2ක් අල්ලයි

කළුතර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියක් සහ ඇයගේ මව පැහැරගෙන ගොස් මුදල් ලබා ගැනීමට උත්සහ කරනු ලද බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දොඩංගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී පොලිස් නිළ ඇඳුම් කොටස් කිහිපයක්, වායු රයිෆලයක් සහ තියුණු ආයුධ කිහිපයක්ද සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවද පොලිසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි සහ 25 හැවිරිදි දොඩංගොඩ සහ කළුතර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු බව වාර්තා වේ.

මේ අතර මීට වසර දෙකකට පමණ පෙර පවත්වන ලද වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයකදී අදාළ දැරිය සහතික පත්‍ර සහ ත්‍යාග විශාල ප්‍රමාණයක් ලබාගැනීම හේතුවෙන් ඇතිවු වෛරයක ප්‍රතිඵලයක් ලෙස මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව පොලිසිය සිදුකළ මුලික විමර්ශනයේදී කරුණු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top