Oct 06, 2019

ශ්‍රීලනිප තීන්දුව අද 11ට ප්‍රකාශ කරයි : මෛත්‍රීට පරිසර ලොකු පුටුවක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන ක්‍රියාමාර්ගය තීරණය කිරීමේ බලය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැවරීමට ඊයේ (05) රැස්වූ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ගන්නා තීරණය පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් අද පෙරවරු 11.00ට මාධ්‍ය හමුවක් කැඳවමින් රටට අනාවරණ කරන කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

ඊයේ රාත්‍රීයේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මෛත්‍රීගෙන් පොහොට්ටුවට කොන්දේසි 3ක්

මේ අතර, ශ්‍රීලනිප ය කවර දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන ගත වුවද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහවැලි හා පරිසර විෂයට අදාළ ඉහළ පෙළේ රාජ්‍ය තනතුරක් හිමිවනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජනාධිපතිවරණයෙන් පසුව තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව සිරිසේන මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත.

ඒ අතර ජනාධිපතිතුමාගේ දේශපාලන හිතවතුන් ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසද යෝජනා කර ඇත.

පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති හමුවේදී ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිවරයාට අවශ්‍ය කුමක්ද යන ප්‍රශ්නය ඍජුවම විමසා ඇත.

එහෙත් ජනාධිපතිවරයා ඊට ඍජු පිළිතුරක් නොදී කරුණු තුනක් සඳහන් කර තිබිණි.

ශ්‍රීලනිප මන්ත්‍රීන්ට නාමයෝජනා ලබාදීම, දක්ෂ ශ්‍රීලනිප සංවිධායකයන්ට නාමයෝජනා ලබාදීම සහ ශ්‍රීල.නි.ප. ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම එම ඉල්ලීම් තුනයි. ඒ හැර ඡන්ද අපේක්ෂකයන් සාධාරණ අනුපාතයක් අනුව බෙදී යා යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top