Oct 09, 2019

ඇල්පිටිය ප්‍රා. සභා මැතිවරණයට සියල්ල සූදානම් Featured

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු ඊයේ (08) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යු චන්ද්‍රලාල් මහතා පවසයි.

ඒ අනුව අද (09) සිට නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන ඕනෑම අයෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තෝරා පත්කරගනු ලබන සභික සංඛ්‍යාව 28 කි.

එම සංඛ්‍යාවෙන් 17ක් කොට්ඨාස මට්ටමින් තෝරාපත් කරගනු ලබන අතර සමානුපාතික නියෝජනය යටතේ සභිකයින් 11ක් තෝරා පත්කර ගනියි.

තැපැල් ඡන්ද

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම උතුරු නැගෙනහිර ඇතුලු දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 269කදී ඉකුත් සැප්තැම්බර් 27 වන දින පැවැත්විණ.

එදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට ඔක්තෝබර් 04 වන දින ඒ ඒ දිස්ත්‍රික්කයන් හී මැතිවරණ කාර්යාල වෙත ගොස් ඡන්දය සළකුණු කිරිමට අවස්ථාව සලසා දී තිබිණ.

"ආරක්ෂාව තහවුරුයි"

මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර තේරීම් භාර නිලධාරී, ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසුවේ ඡන්ද විමසීම වෙනුවෙන් ප්‍රදේශයේ උපරිම ආරක්ෂාව යොදවා තිබෙන බවය.

මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරින් 800කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව ද ඔහු පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top