Oct 09, 2019

ගෝඨා ගේ මංගල ජනරැළිය අද ; සජිත් ගේ හෙට Featured

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජනරැලිය අද (9) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැලිය පස්වරු 3.00 ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුම් අත්සන් කිරීමටද නියමිත බව පැවසේ.

ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑ රඳුන් වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සිය මංගල රැලිය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වනු ඇත.

'වැඩකරන රටක් වෙනුවෙන් පෙළගැසෙමු' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම මංගල රැළිය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ 19ක සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 7ක දේශපාලන නායකයන් මෙන්ම විවිධ වෘත්තීය සමිති, කලාකරුවන් සහ කාන්තා සංවිධාන නියෝජිතන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.

සජිත් ගේ මංගල රැළිය ගාලුමුවදොරපිටියේදී

මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය හෙට (10) ප.ව. 2.00ට කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂවල සහභාගිත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැලිය පැවැත්වෙනු ඇත.

මෙම ජනරැළිය ඇරැඹෙන පෙර හෙට පෙරවරුවේදී ප්‍රේමදාස මහතා කැළණිය රජමහා විහාරයේ ආගමික කටයුතු සඳහා සහභාගි වීමට නියමිතය.

මංගල ජනරැළියෙන් පසු ඌවෙන් බිම් මට්ටමේ ජනරැළි ඇරැඹීමට නියමිතය. දෙවැනි ජනරැළිය 13දා ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, රටම ආවරණය කෙරෙමින් ජනරැළි  151ක් පැවැත්වීමට දැනට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top