සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු සහ මැතිවරණ මෙහෙයුම් කටයුතු විධිමත්ව සිදුනොවන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් අගමැතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මැතිවරණ මෙහෙයුම සිදුකිරීමට තීරණය කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කර ඇත.
අගමැතිවරයාගෙන් මෙම තීරණයට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අනුමැතියද ලැබී ඇති බව පැවසේ.
මෙතෙක් කල් වොක්ෂෝල් වීදියේ පිහිටුවා තිබූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයෙන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය පමණක් දියත් කිරීමට නියමිතය.
මේ අතර, සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කටයුතු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන තිස්ස අත්තනායකට ඊයේ (ද9) පැවරූ බවට මාධ්‍ය මගින් කළ ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මාධ්‍ය මෙහෙයුම් කටයුතු කොළඹ ග්රීන්පාක්හී වෙනත් ස්ථානයක සිට සිදුකිරීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ.
මාධ්‍ය මෙහෙයුම් කටයුතුවල ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් රංග කලංසූරිය පත් කර ඇති බවද පැවසේ.
සජිත්ගේ මංගල රැළිය අද
මේ අතර, නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රාහී මංගල ජන රැලිය අද (10) සවස 2ට කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂවල සහභාගිත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැලිය පැවැත්වෙයි.
මේ සඳහා රටේ සතර දිග්භාගයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වීමට නියමිතය. සෑම ආසනයකින්ම පාක්ෂිකයින් මෙම රැලියට සහභාගි කරගැනීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.
මෙම ඓතිහාසික ජනරැලිය ඇරැඹෙන අද දිනයේ උදේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කැළණිය රජමහා විහාරයේ ආගමික කටයුතු සඳහා සහභාගි වීමට නියමිතය.
මංගල ජනරැලියෙන් පසු ඌවෙන් බිම් මට්ටමේ ජනරැලි ඇරැඹීමට නියමිතය. ඌව වෙල්ලස්සෙන් මෙම 13 වැනිදා දෙවැනි විජයග්‍රාහි රැලිය ආරම්භ වීමට නියමිත අතර රටම ආවරණය කෙරෙමින් විජයග්‍රාහි ජන රැලි එකසිය පනස් එකක් පැවැත්වීමට දැනට සැලසුම් කැර තිබේ.