Oct 14, 2019

අපේක්ෂකයන්ට දැන් ඉවත් වෙන්න බෑ: ජන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි Featured

ජනාධිපතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ කිසිදු අපේක්ෂකයකුට වෙනත් අපේක්ෂකයකු වෙත සහය පළකරමින් ඡන්ද සටනින් ඉවත්වීමට කිසිම නීතිමය හිමිකමක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

දැනට ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දී තිබෙන ඇතැම් අපේක්ෂකයන් වෙනත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයන්ට සහය පළකරමින් ඡන්ද සටනින් ඉවත් වීමට යන බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් අ කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

නිත්‍යානුකූලව නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව සියලුම අපේක්ෂකයන්ගේ නම් දැනටමත් ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කර ඇතැයද දේශප්‍රිය මහතා කීය.

ඒ සඳහා රජය විශාල වියදමක් දරා ඇති බවද ඔහු හෙළි කළේය.

යම් අපේක්ෂකයකුට එම නිසා එලෙස වෙනත් කෙනකුට සහය පළකරමින් ඡන්ද සටනින් ඉවත් වීමට නොහැකි බවත්, එය යුක්ති සහගත නොවන බවද ඔහු කීය.

ජනපතිවරණයේ මුද්‍රණ වැඩ

මේ අතර, ජනාධිපතිවරණයට අදාළ සියලු මුද්‍රණ කටයුතු ලබන මස 06 වැනිදාට පෙර අවසන් කරන බව රජයේ මුද්‍රන දෙපාර්තමේන්තුව කියා සිටී.

රජයේ මුද්‍රනාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය කියා සිටියේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් මුද්‍රනය කිරීමට නියමිතව ඇතැයි ද විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ එය සිදු කෙරෙන බවද ඇය කීවාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top