Oct 15, 2019

තොණ්ඩා ගෝලීය දේශපාලනය අවුල් කරයි: බැසිල්ගෙන් අමුතු කතාවක් Featured

තම පක්ෂයේ විධායක සභාවේ තීරණය අනුව ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ප්‍රකාශයත් සමඟ ගෝලීය දේශපාලනය තුළ අභ්‍යන්තර අර්බුද හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ වතුකරය ඇතුළු දෙමළ ජනතාවගේ ගැටලු එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හරහා විසඳාගත හැකි බවට කලාපීය ප්‍රධාන රටක් ප්‍රමුඛ බටහිර රටවල ආකල්පය බවට පත්ව තිබියදී හදිස්සියේ සිදුවූ මේ වෙනස එහි වෙනසක ආරම්භයක්ද යන සැකය නිසාය.

කෙසේවුවද, වතුකරයට බලපාන ගැටලු 32ක් සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා පැවැත්වූ බවත්, එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විධායක සභාව මෙම තීරණය ගත් බවත් තොන්ඩමන් මහතා පෙරේදා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් සහභාගි වී ඇත.

ඇමරිකානු නි.තානාපති හා තොණ්ඩාගේ හමුව

මේ අතර, පසුගිය ඔක්තෝබර් 01 වැනිදා මෙරට ඇමරිකානු නියෝජ්‍යය තනාධිපති මාටින් ඩි කේලි මහතා සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක තොණ්ඩමන් මහතා අතර විශේෂ සකාච්ඡාවක් නුවරඑලිය ගොල්ෆ් ක්‍රිඩංගණ සමාජ ශාලාවේදි පවත්වා තිබිණි.

රටේ පවතින වත්මන් දේශාපලන තත්ත්වය, ජනාධිපතිවරණය සහ වතුකරයේ ජනතාවට බලපාන ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එහිදී සාකච්ඡා පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙරට ඇමරිකානු තානාධිපති කාර්යයාලයේ ආරාධනාවක් අනුව තොණ්ඩමන් මහතා එම සාකච්ඡාවට සහභාගි වු බවත්, පැයකට ආසන්න කාලයක් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වුණු බවත් වාර්තා විය.

මෙම සාකච්ඡාවට මෙරට ඇමරිකානු තානාධිපති කාර්යයාලයේ දේශපාලන අංශ නිලධාරි ජොන් එච්. බිට්ගෙට් මහතා සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති සහ ඌව පලාත් සභා අමාත්‍යය සෙන්දිල් තොණ්ඩමන්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති එස්.රාජ දොරෙයි මහතා ඇතුළු මෙරට ඇමරිකානු තානාධිපති කාර්යයාලයේ ප්‍රධාන නිලධාරින් රැසක් එක්ව සිටි බවද කියවිණි.

චීනය නොසලකා ආර්ථිකය දියුණු කරන්න බැහැ - බැසිල්

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හින්දු පුවත්පතට පවසා ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදී ඉන්දියාව හෝ වෙනත් පාර්ශවයක් එවක විපක්ෂයේ සන්ධානයට සහාය දුන් බවට සාධක නොමැති බවයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ මුල් පෙලේ මිතුරකු වන අතර දේශපාලන හා ආරක්ෂක කරුණුවලදී දෙරට අතර දැඩි සබදතාවයක් පවතින බවද බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.

එහෙත් ආර්ථීක කරුණුවලදී චීනය නොසළකා හැරීමට මෙරටට හැකියාවක් නොමැති බවද ඔහු අවධාරණය කර තිබේ.

 මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අවම වශයෙන් ජන්ද ලක්ෂ 65ක් හිමිකර ගැනීම ඉලක්කය බවද බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

 මෙවර ජනාධිපතිවරණයේදී මිලියන 15.99 ක පිරිසක් ජන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටින අතර ඉන් සියයට 80ක් පමණ ජන්දය භාවිතා කරනු ඇති බවට ද ඔහු විශ්වාසය පලකර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top