Oct 15, 2019

තිලංගගේ ක්‍රිකට් තහනම තහවුරු වෙයි Featured

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ නියෝගයක් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නිකුත් කර තිබේ.

අදාළ තීන්දුව ගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ පරීක්ෂණ වාර්තාවෙන් තිලංග සුමතිපාලට ක්‍රිකට් පරිපාලනයට කිසිදු අයුරකින් සම්බන්ධ විය නොහැකි බව නිර්දේශ කිරීම සහ එම වාර්තාවේ අනෙකුත් නිර්දේශ පිළිබඳ අවධානය යොමු කරමිනි.

ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව සහ නිර්දේශ පසුගියදා (11දා) ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර තිබුණු අතර, ඒ අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(1) වගන්තියෙන් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තහනමට ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ අත්සන් තැබුවේය.

ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස, හිටපු ක්‍රිකට් සභාපති ලෙස හෝ ක්‍රිකට් ආයතනයේ පරිපාලකයෙකු ලෙස එහි වැඩ කටයුතු හෝ රැස්වීම්වලට සහභාගි වීම, අසුන් ගැනීම, ඡන්දය භාවිත කිරීම, කුමන හෝ කමිටුවක කුමන හෝ රැස්වීමකට, ක්‍රියා පටිපාටියකට දායක වීම සහ කුමන හෝ ආකාරයකින් හෝ බලය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට සහභාගි වීම වළක්වාලමින් තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර පියවර ගත්තේ පසුගිය සැප්තැම්බර් මස 09 වැනිදාය. ඒ, පිළියන්දල නගර ක්‍රීඩා සමාජය (Piliyandala Town Sports Club) අගෝස්තු මස 30 වැනිදා යොමු කළ පැමිණිල්ලකට අනුවය.

2016.10.27 දිනැති අංක 1990/23 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ක්‍රීඩා නියෝගවලට අදාළ 5(4) නියෝගයේ (ග) උපවගන්තිය ඉවත් කර ඊට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, “(ග) ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ කිසියම් තරගයකට සම්බන්ධතාවක් ඇති ඔට්ටු ඇල්ලීමේ හෝ සූදු ක්‍රීඩාවේ හෝ පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ එවැනි තරග සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක හෝ ආයතනයන්හි එදිනෙදා කටයුතුවල නියැළී සිටින තැනැත්තෙකු හෝ ඔහුගේ පවුලේ ඕනෑම පූර්වාසන්න සාමාජිකයෙකු (කලත්‍රයා, මව, පියා, සහෝදරයෙක්, සහෝදරියක්, පුතා, දුව, බෑණා, ලේලිය) වන්නේ නම්,' එම පුද්ගලයාට ජාතික ක්‍රීඩා සංගමයක තනතුරක් දැරිය නොහැකිය යනුවෙනි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top