Oct 18, 2019

කාබන් බද්ද ඉවතට: බිලියන 415ක් උපයන විදිය මංගල ගෝඨාගෙන් අසයි Featured

කාබන් බද්ද ඉවත් කිරීමේ යෝජනාව ලබන 23 වැනිදා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියයි.

මුදල් අමාත්‍යාංශයේ ඊයේ (17) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් රජය හඳුන්වා දුන් කාබන් බද්ද 23 වැනිදා සිට ඉවත් කෙ‍රෙන අතර මෙතෙක් ගෙවූ අයට එය ආපසු ලබාදීමක් සිදු නොකැරෙන බව ද සඳහන් කළේය.

සජිත්ගේ ප්‍රතිපත්තිය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන පළමුවනදා එළිදක්වන බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී කියා සිටියේය.

වැට් බද්ද 8% කින් අඩු කිරීම

වැට් බද්ද සියයට අටකින් අඩුකරන හා උපයනවිට ගෙවන බද්ද ඉවත් කරන බව ප්‍රකාශ කරන ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, ඒතුළින් මේ වසරේදී පමණක් රජයට අහිමිවන රුපියල් බිලියන 415 (රු.කෝටි 41500) මුදල සොයාගන්නේ කෙසේදැයි වහාම රටට හෙළිදරව් කළ යුතු යැයි ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

රාජ්‍ය මූල්‍ය පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව රටේ ආර්ථිකය පිළිබඳව වැරදි තොරතුරු පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව නොමඟ යැවීමට පට්ටපල් බොරු කියන බවද මුදල් ඇමැතිවරයා සඳහන් කෙළේය. එපමණක් නොව තම ජයග්‍රහණය වෙනුවෙන් රට ඕනෑම ප්‍රපාතයකට ඇදදැමීමට තරම් සමත්වන පොරොන්දු ලබාදෙමින් ජනතාව රැවැටීමේ ක්‍රියාදාමයක ගෝඨාභය රාජපක්ෂ මහතා නිරත වන බව කී මංගල සමරවීර මහතා, රටේ මෙතෙක් ක්‍රියාත්මක නොවන බදුත් තමා බලයට පත්වූ විට ඉවත් කරන බව කීම හාස්‍යයට කරුණක් බව මංගල සමරවීර මහතා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා මෙසේ ද කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ විට ගන්නා වූ ආර්ථික ක්‍රියාමාර්ග කිහිපයක් ගැන කරුණු දක්වා තිබෙනවා. ඒ අතර වැට් බද්ද 15% සිට 8% දක්වා අඩුකරන බවත්, උපයනවිට බද්ද මුළුමනින්ම අහෝසි කරන බවත්, කෘෂිකාර්මික උපකරණ මත සහ කෘෂි අංශය මත පනවා ඇති බදු ඉවත් කරන බවත්, දුරකථන බද්ද ඉවත් කරන බවත්, එක්සත් ජනපද ඩොලරයට ගෙවන රුපියලේ අගය රුපියල් 150 මට්ටමට ගෙන එන බවත් සඳහන් වෙනවා.

මෙයින් පළවෙනි යෝජනාව ක්‍රියාත්මක කළොත් වසරකට රජය ලබන රුපියල් බිලියන 530ක වැට් බදු ආදායම රුපියල් බිලියන 350 දක්වා අඩුවෙනවා. උපයනවිට ගෙවන බද්ද ඉවත්කිරීමෙන් රජයට රුපියල් බිලියන 62ක් අහිමිවෙනවා. ඒ අනුව මුළුමනින්ම රුපියල් බිලියන 415ක් රජයට අහිමිවෙනවා. මේ අහිමිවන මුදල් සොයාගන්නේ කෙසේද ගෝඨාභය රාජපක්ෂ මහතා රටට හෙළිකළ යුතුයි.

රජය වාර්ෂිකව අතිවිශාල මුදලක් රටේ සංවර්ධනයට, ජනතාවගේ සුබසාධනයට වැයකරනවා. ඒ නිසා බදු ඉවත්කිරීමෙන් අහිමිවන ආදායම් සොයාගන්නට ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපනයට වැයවන මුදල් කප්පාදු කරනවා ද? සෞඛ්‍යයට වැයවන මුදල් කප්පාදු කරනවා ද? ජාතික ආරක්ෂාවට වැයකරන මුදල් කප්පාදු කරනවා ද? සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැඩිකළ වැටුප් ගෙවීම්වලින් අඩුකරනවා ද? අප රජය වැඩිකළ විශ්‍රාමිකයින්ගේ දීමනාවලින් මුදල් කප්පාදු කරනවා ද? නැතිනම් ආබාධිත රණවිරුවන්ගේ දීමනා කප්පාදු කරනවා ද? රටට පැහැදිලිව කිවයුතු යැයි ද මංගල සමරවීර මහතා කීය. රාජපක්ෂ පාලන සමයේ 20% තිබූ වැට් බද්ද 11% දක්වා ඡන්දයක් ඉලක්කකොට අඩු කළ බව සිහිපත් කළ මංගල සමරවීර මහතා, අප රජය බදු ක්‍රමය සරලකොට ජනතාවට වඩාත් පහසුවීම සඳහා එය 15% මට්ටමකට ගෙනා බව සඳහන් කළේය. මසකට රුපියල් 65200/=ක උපරිම ආදායමක් ලැබූ අයගෙන් රාජපක්ෂ සමයේ උපයනවිට ගෙවීම් බදු අය කළ බව සිහිපත් කළ මංගල සමරවීර මහතා, එම සීමාව රුපියල් ලක්ෂය දක්වා වැඩිකොට පන්ලක්ෂයක් ජනතාව බදුගෙවීම්වලින් නිදහස් කළේ අප රජය යැයි ද කීය. එමෙන්ම ඉදිරියේදී මෙම බදු නිදහස් සීමාව එක්ලක්ෂ විසිපන්දහස දක්වා වැඩිකරන බව ද ඒ තුළින් තවත් විශාල පිරිසක් බදුගෙවීම්වලින් ඉවත්වනු ඇති බව ද මුදල් ඇමැතිවරයා කීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top