Oct 21, 2019

25දා එළියට එන ගෝඨාගේ සහන පැකේජය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවේ) ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන 25 වැනිදා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සමගින් විශේෂ ආර්ථික සහන පැකේජයක් ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

අදාළ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එමගින් දීර්ඝව පැහැදිළි කිරීමට සැලැසුම් කර ඇති බව පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේ එමගින් ජනතාවට සහනදායී බදු ක්‍රමයක්, පවත්නා බදු ගණන අඩු කිරීම, වැඩ කරන ජනතාව වෙත බලපාන විවිධ ගාස්තු සහ අයකිරීම් අවම කිරීම, දිළිඳු ජනතාවට සහ ගොවි, ධීවර ප්‍රජාවන්ට හිමිවන සහනාධාර ගැන විශේෂයෙන් දැනුම්වත් කිරීමට නියමිත බවයි.

දැනට පවත්නා මූල්‍ය නීති හා රෙගුලාසි නිසා සිරවීමකට ලක්ව සිටින ව්‍යාපාරික ප්‍රජාවේ ගැටලු නිරාකරණය සඳහා වන යෝජනා ගණනක් ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ය.

එමෙන්ම අනවශ්‍ය ආනයන නතර කිරීම, ද්විත්ව බදුකරණයේ අහිතකර ප්‍රතිඵලවලට පිළියම් යොදන ආකාරය ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් අනාවරණය කෙරෙන බවද ඔහු කියා සිටියේය.

එහි ප්‍රාදේශීය සංවර්ධනය සහ කලා සංස්කෘතික හා මාධ්‍ය විෂයෙහි බලපාන විශේෂ යෝජනා කිහිපයක් ද ඇතුළත්ව ඇතැයි ඔහු කීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top