Oct 22, 2019

සමෘද්ධි පත්වීම් 800ක් මැකෝ ළඟ Featured

සමෘද්ධි අධිකාරිය විසින් නීති විරෝධී ලෙස සකස් කරන ලද පත්වීම් ලිපි අටසියයකට (800) අධික සංඛ්‍යාවක් තිබූ කාමර කීපයකට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ඊයේ (21) සවස සොයාගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතුවලට ඒවා රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

සමෘද්ධි බැංකු පරිගණක ක්‍රියාකරු තනතුර සදහා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව මෙම පත්වීම් ලිපි සකස් කර තිබී ඇත.

එම පත්වීම් ලිපි ෆයිල් කවර විස්සකට, තිහකට වැඩි ප්‍රමාණයක බහා තිබුණු බවද පැවසේ.

සමෘද්ධි අධිකාරිය විසින් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පත්වීම් ලිපි ලබාදෙන බවට ලද තොරතුරකට අනුව මැතිවරණ කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම විමර්ශන කටයුතු සිදුකරන අතරතුරදී සගවා තිබූ මෙම පත්වීම් ලිපි තොගය හමුවී ඇත.

මෙම ලිපිවල පත්වීම් දිනය ලෙස සැප්තැම්බර් මාසයේ දිනයක් සටහන්කර ඇති අතර, අදාළ තනතුර සදහා අයදුම්පත් යොමුකරන ලද දිනය ලෙස සටහන් කර ඇත්තේ ඔක්තෝබර් මාසයේ දිනයකි.

මෙලෙස පත්වීම් ලබාදීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල්වරයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ පිළිබදව රාජ්‍ය සේවා කොමිසමට දැනුම්දීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top