Oct 23, 2019

ජනපතිවරණය නිරීක්ෂණයට EU එකෙන් 30ක් ඇවිත් Featured

ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් නිරීක්ෂකයන් 30 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඔවුන් ඉදිරි මාස දෙකක කාලයක් මෙරට මැතිවරණ කටයුතු කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ නියෝජ්‍ය ප්‍රධාන නිරීක්ෂක දිමිත්‍ර අයනො මහත්මිය කියා සිටියේ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලය සම්පූර්ණයෙන්ම ස්වාධීන හා අපක්ෂපාති බවත්, සියලුම නිරීක්ෂකයන් නියම කරන ලද ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කරනු ලබන බවයි.

මෙම මෙහෙයුම හරහා මැතිවරණ ක්‍රියාවලියට කිසිම අයුරකින් සහභාගි නොවන බව ඇය වැඩිදුරටත් එහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම නිල වශයෙන් ආරම්භ කළ බවත්, මෙය ශ්‍රී ලංකාව තුළ සිදු කරන යුරෝපා සංගමයේ හයවන මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙහි දී අදහස් දැක් වූ නියෝජ්‍ය ප්‍රධාන නිරීක්ෂක දිමිත්‍ර අයනො මහත්මිය,

“ මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් යුරෝපා කොමිසම නොවැම්බර් 16 ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලයක් යොදවා තිබෙනවා. මේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සිදු කරන හය වැනි මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමයි. 2000, 2001, 2004, 2005 සහ 2015 යන වසරවල දී අපගේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඒ දිනවල වගේම මෙවරත් අප පැමිණ සිටින්නේ මැතිවරණ කොමිසමේ ආරාධනයට අනුවයි. එවන් ආරාධනයක් නොමැතිව අප රටක නිරීක්ෂණය සඳහා පැමිණෙන්නේ නැහැ.

යුරෝපා සංගමය හවුල්කාර රටවල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද යට සහයෝගය ලබා දීම සහ ජාත්‍යන්තර කලාප හා ජාතික ව්‍යාපාර සමඟ එක්ව ඒ සන්දර්භය තුළ මැතිවරණය පැවැත්වීමට ඔවුන් දක්වන කැපවීමට සහය ලබා දීම මෙමගින් පෙන්නුම් කරනවා. ලෝකය පුරා යුරෝපා සංගමය දැනට මැතිවරණ මෙහෙයුම් 150ක් පමණ සිදු කර තිබෙනවා. 2005 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කරන ලද ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සඳහා මූලධර්ම ප්‍රකාශනයට අනුකූලවයි මෙම කටයුතු සිදු කෙරෙන්නේ. මෙහි සඳහන් වන්නේ අව්‍යාජ, ප්‍රජාතන්ත්‍රවා දී, දේශීය නීතිය සඳහා වන ජාත්‍යන්තර මූලධර්මයන්ට අනුකූලව මැතිවරණ ක්‍රියාවලිය තක්සේරු කරන අතර මැතිවරණ ක්‍රියාවලියක විශ්වසනීයත්වය සහ නීත්‍යනුකූලභාවය තීරණය කරන්නේ ජනතාව බව පිළිගන්නා බවයි.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලය සම්පූර්ණයෙන්ම ස්වාධීන හා අපක්ෂපාති බව මුලින්ම සඳහන් කළ යුතුයි. සියලුම නිරීක්ෂකයින් නියම කරන ලද ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කරනු ලබනවා. ඒ වගේම එම වැඩකටයුතුවල දී දැඩි මධ්‍යස්ථභාවය පවත්වා ගෙන යනු ලබනවා. මැතිවරණ ක්‍රියාවලට කිසිම අයුරකින් මැදිහත් වන්නේ නැහැ. මැතිවරණ ක්‍රියාවලියේ කිසිදු කොටසක් නීත්‍යනුකූල නොකරන අතර මැතිවරණ ප්‍රතිඵලය වලංගු කිරීමක් මෙයින් සිදු නොවේ.

මෙම දූත මණ්ඩලයේ වරම වන්නේ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් හා දිගුකාලීන තාක්ෂණික තක්සේරුවක් සැපයීමයි. එසේ කිරීමෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ විවිධ මානව හිමිකම් විසින් සිදු කර ඇති ජාත්‍යන්තර බැඳීම්වල අනුකූලතාවය මැන බලන අතර ඒ වගේම ජාතික නීති සම්පාදනයේ අවශ්‍යතා මෙන්ම මැතිවරණ සඳහා ජාත්‍යන්තර යහපත් පිළිවෙත් අනුගමනය කිරීමද සළකා බලනවා.

නෛතික රාමුව හා ක්‍රියාත්මක කිරීම, මැතිවරණ පරිපාලන කටයුතු, අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂවල ප්‍රචාරක කටයුතු, රාජ්‍ය ආයතනවල සහ සිවිල් සමාජ කාර්යභාරය, ප්‍රධාන රූපවාහිනී, ගුවන් විදුලි මධ්‍යස්ථාන මෙන්ම සමාජ මාධ්‍ය, පුවත්පත් සහ මාධ්‍ය අධීක්ෂණය කිරීම සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල හැසිරීම, මූලික නිදහස, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට ගරු කිරීම ඇතුළු මැතිවරණ සමස්ත පරිසරය, මැතිවරණ කාලයට පෙර හෝ පසු කෙරෙන මැතිවරණ පැමිණිලි හෝ අභියාචනා මෙහි දී සළකා බලනවා.

ශ්‍රී ලංකා යුරෝපා සංගමයේ කාර්යභාරය මෙහෙයවනු ලබන්නේ පෘතුගාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන මරිසා මටියස් විසින්. ඔක්තෝබර් 11 වැනිදා මෙරටට පැමිණි මෙම කණ්ඩායම මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවත් මෙරට රැඳී සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා මැතිවරණ විශ්ලේෂක මාර්ගරිඩා එල්ව්ස් සහා මාධ්‍ය නිලධාරී පෝල් ඇන්ඩර්සන් ද එක් වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top