Oct 23, 2019

දෙමළ ජාතික සන්ධාන සජිත් නිසා බෙදෙයි ! Featured

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී සහය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා කළ යෝජනාව සම්බන්ධයෙන් ටෙලෝ හා ප්ලොට් සංවිධාන විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.

සම්බන්ධන් හා සුමන්තිරන් මහතා එම අදහසේම එළඹ සිටින්නේ නම් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉවත් වීමට ඔවුන් තීරණය කොට ඇති බවද වාර්තා වේ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සන්ධානගත පක්ෂ ලෙස කටයුතු කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා ඊ.පී.එල්.ආර්.එෆ්. සංවිධානය පසුගිය කාලයේදී එම සන්ධානයෙන් ඉවත්වීමට කටයුතු කළේය.

ප්ලොට් සංවිධානයේ නායක සිද්ධාර්ථන් ධර්මලිංගම් මහතා මාධ්‍යට පවසා ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය පසුගිය කාලය තුළම සිදුකළේ වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරමින් උතුරු නැගෙනහිර ජනතාවගේ අත්‍යවශ්‍ය ගැටලු කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවයි.

සන්ධානයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී ආර්. සම්බන්ධන් හා සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවයන් අනුව කටයුතු කරමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ යුතු බව දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින බවද ඔහු සඳහන් කර තිබේ.

එම තත්ත්වය යටතේ තවදුරටත් ප්ලොට් හා ටෙලෝ සංවිධානවලට ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ සන්ධානගතව සිටිය නොහැකි බවද ඔහු සඳහන් කරන අතර මේ අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය විය යුත්තේ ස්වාධීනව කටයුතු කිරීම බවද කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top