Oct 25, 2019

TNA තීන්දුව 31 දක්වාම අදියි: "ජනපති තීරණය වන්නේ උතුරෙන්" Featured

ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදීම පිළිබඳ තීරණය ජනපති අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

මෙතෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර නොතිබීමත් එය ඉදිරිපත් කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය තීරණයකට එළඹිය යුතු බවටත් දෙමළ ජාතික සන්ධානයේ බහුතරයකගේම මතය වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ලබන 31 වැනිදා වනවිට සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා කීය.

මේ අතර, උතුරු නැගෙනහිර ඡන්ද දායකයින් වැඩි ප්‍රමාණයක් මෙවර සිය ඡන්දය භාවිත කළහොත් එය 2019 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය වීමට තීරණාත්මක සාධකයක් විය හැකි බව දේශපාලන විශ්ලේෂක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය නවරත්න බණ්ඩාර මහතා පවසයි.

"ආසන්න වශයෙන් 70%ක් වත් ඡන්ද දායකයෝ ඡන්ද පොළට අවොත් ඒක ලොකු බලපෑමක් කරනවා අවසාන ප්‍රතිඵලය කෙරෙහි.” යැයි ඔහු කියා සිටී.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මේ ඡන්ද විමසීම පවත්වන්නේ විකල්ප ඡන්ද විමසීම කියන ක්‍රමය භාවිත කරලා. ඒ නිසා ඡන්ද දායකයට තමන්ගේ පළවෙනි දෙවැනි තුන්වෙනි වශයෙන් විකල්ප අපේක්ෂකයා නම් කරන්නත් වේවි. එතකොට පළවෙනියට එන කෙනාට 50% ට වඩා ගන්න බැරි වුණොත් දෙවැනි ගණන් කිරීමකට යන්න වෙනවා. මේක අපි කියන්නේ නියත බහුතර ඡන්ද ක්‍රමයක් (Absolute majority system). ඉතින් මේ උතුරු නැගෙනහිර ඡන්දත් වැටෙන කොට විශේෂයෙන්ම මේ දෙමළ සහ මුස්ලිම් ජන කොටස් හැසිරෙන ආකාරය මේ දකුණේ ඡන්ද දායකයා හැසිරෙන ආකාරයට වඩා වෙනස්,”

2005, 2010, සහ 2015 උතුරු නැගෙනහිර ඡන්ද ජනපති තීරණයට බලපෑවා

උතුරු පළාතට දිස්ත්‍රික්ක දෙකක් අයත් වේ. ඒ යාපනය සහ වන්නියයි. එම මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි, මැතිවරණ කොට්ඨාස 14 කි.

නැගෙනහිර පළාතට දිස්ත්‍රික්ක තුනක් අයත් වේ. ඒ, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ දිගාමඩුල්ලය. එම දිස්ත්‍රික්ක මැතිවරණ කොට්ඨාස 10 කින් යුක්තය.

2005, 2010, සහ 2015 ජනාධිපතිවරණවලදී සමස්ත ප්‍රතිඵලය කෙරෙහි උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡන්ද බලපෑමක් ඇති කළ බව විශ්ලේෂකයන්ගේ අදහසය.

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ජනපතිවරණය ජයගනු ලැබුවේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි.

2015 ජනපතිවරණයෙන්

උතුරු පළාතේ ඡන්ද දායකයින් 782,297ක් ලියාපදිංචි වී සිටි අතර ඉන් 2015 ජනාධිපතිවරණයට ඡන්දය පාවිච්චි කර තිබුණේ 531,014 දෙනෙකු පමණි. ඉන් ලක්ෂ හතරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගැනීමට හංසයා ලකුණින් තරග කළ මෛත්‍රීපාල සිරිසේන සමත් වී තිබුණි.

මුස්ලිම් දේශපාලන පක්ෂවල සහය ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබූ බැවින් මෛත්‍රීපාල සිරිසේන නැගෙනහිර පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක තුනෙන්ම පහසු ජයක් ලබාගැනීම විශේෂත්වයකි.

ප්‍රකාශිත මුළු ඡන්ද 816,769 කින් 583,120 ක් හිමි වූයේ මෛත්‍රීපාල සිරිසේනටය. මහින්ද රාජපක්ෂ ලබා ගත්තේ ඡන්ද 214,769 කි.

මූලාශ්‍රය - බීබීසී සිංහල

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top