Oct 30, 2019

ජනපතිවරණ ඡන්ද ප්‍රකාශය තවත් පැයක් දික් කරලා: ගැසට් එකත් දාලා Featured

ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් මස 16 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එම කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාහතා කියයි.
ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ අනුව පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන්ට අවස්ථාව සැලසෙන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ. 

මැතිවරණය පැවැත්වෙන වේලාව වෙනස් කිරීමට අදාළ සංශෝධිත ගැසට් පත්‍රය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරුණි. 

මීට පෙරදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබුණේ පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පමණි.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ නියෝජිතයන් අතර ඊයේ (29) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීද ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව වෙනස් කිරීම පිළිබඳව දැනුවත් කර ඇත. 

කොමිසමේ එම තීරණයට අපේක්ෂක සහ පක්ෂ නියෝජිතයන් එකඟතාව පළකර තිබුණි. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තිස්පස්දෙනකු තරග කරන බැවින් ඡන්ද පත්‍රිකාව අඟල් විසිහයක් දිගින් යුතුවීම, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩි කාලයක් ගතවීම යන කරුණු සලකා බලා ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top