Nov 02, 2019

"කොළඹ හා තදාසන්න නගර ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා"

කොළඹ නගරය ඇතුළු තදාසන්න නගර සියල්ල ජීවත්වීමට සුදුසු, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නගර ලෙසට දියුණු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

"සාර්ථක දැක්මක් වැඩ කරන රටක්" තේමාව ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොරටුවේදී සංවිධාන කළ විජයග්‍රාහී රැලියට එක්වෙමින් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

තදාසන්න නගරවල යටිතල පහසුකම් දියුණු කරමින් ක්‍රමානුකූලව සංවර්ධනය කරමින් ආ ගමන් මඟ වත්මන් රජය සම්පූර්ණයෙන් නතර කර ඇති බව පැවැසූ රාජපක්ෂ මහතා තම පාලනයක් යටතේ එම සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරන බවද සදහන් කළේය.

මොරටුව නගරයේ පහසුකම් දියුණු කර නවීන නගරයක් ලෙස සංවර්ධනය කරන අතරම මොරටුව කේන්ද්‍රකොටගත් වඩු කර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බව ද රාජපක්ෂ මහතා පැවැසීය.

එසේම ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය නව තාක්ෂණය හඳුන්වා දී ධීවරයන් ව්‍යවසායකයන් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව පැවැසීය. විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් රැසක් මේ අවස්ථාවේ දී අදහස් දැක්වූහ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top