Nov 02, 2019

"රටේ මුදල් නාස්ති කරන වැඩවලට තිත තියනවා"

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමඟ රටේ මුදල් කාබාසිනියා කරන වැඩසටහන්වලට සම්පූර්ණයෙන් තිත තබන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ නුගේගොඩ නගරයේ පැවැති ජන රැලිය අමතමිනි.

මෙය ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් (කැබිනට් නොවන) ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සංවිධාන කර තිබිණ.

ප්‍රතිඵල කේන්ද්‍ර කර ගත් රාජ්‍ය පාලනයක් අප අනුගමනය කරන බව ද මෙහි දී ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස මහතා, බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වන ජනාධිපතිවරයකු නොවන ලෙස හැකි තරම් දුරට කටයුතු කරන බව ද කීය. 16 දිනෙන් පසු දැනට පවතිනවාටත් වඩා මාධ්‍ය නිදහසක් ලබා දෙන බව කී ජනාධිපති අපේක්ෂකවරයා තම ප්‍රතිවාදී අපේක්ෂකයාට තමා හා විවාදයකට එන ලෙස නැවත නැවතත් අභියෝග කරන බව ද පැවැසීය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මෙසෙද පැවසීය.

"සම්පත් සහ ධනය නිසා රටක් ශක්තිමත් වෙනවා. රටක් ඉදිරියට යන්න රටකට හොඳ ආර්ථික හයියක් තිබෙන්න ඕනෙ. ඒ සඳහා මැතිවරණ හරහා පාලක පැලැන්තියක් නිර්මාණය වෙනවා. ඔවුන්ගේ යුතුකම වන්නෙ රටේ තාවකාලික බාරකරුවන් ලෙස උපරිම වශයෙන් රට සංවර්ධනය කිරීම. ඇතැමුන් සිතනවා මේ බාරකාරත්වය සින්නක්කර ඔප්පුවක් බව. ඔවුන් මහජනතාවගේ බදු මුදලින් තම පවුලත් සමඟ පෝෂණය වී රටේ ජාතික ආදායම තම පෞද්ගලික සුඛ විහරණය සඳහා යොදා ගන්නා අන්දම පසුගිය කාල වකවානුවේ අප දුටුවා. එම ක්‍රමවේදය නිසා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා මහජන නියෝජිතයන්ගෙන් වැඩක් නොමැති බව.

16 දින ජනතාව මට ලබාදෙන ශක්තියත් සමඟ මේ ක්‍රමය වෙනස් කරනවා. රටේ බදු මුදල් පොදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කැප කරනවා. මවු බිමේ ස්වර්ණමය සංවර්ධන යුගය ආරම්භ කරනවා. මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයාට අගමැතිවරයාට තීරු බදු රහිත වාහන බලපත්‍රය තහනම්. ආණ්ඩු මාරුවන ගාණට අමාත්‍යාංශවලට වාහන ගෙන්වන ක්‍රමයක්ද ක්‍රියාත්මක වනවා. 16 දින ජයග්‍රහණයත් සමඟ රටේ මුදල් කාබාසිනියා කරන ඒ දෙයටත් සම්පූර්ණයෙන් තිත තබනවා. ඒ වගේම ජනාධිපතිවරයාට, අගමැතිවරයාට ගිහින් ඉන්න රජ මාලිගා වගේ නිල නිවාස තිබෙනවා.

මේවා නඩත්තු කරන්නෙ රටේ ජනතාව. තමුන්නාන්සේලා ගෙවන සෘජු බදු සහ වක්‍ර බදුවලින් ලැබෙන ආදායමින් තමයි ඒවා නඩත්තු වන්නෙ. මේ බදු මුදල්වලින් පාසල්, රෝහල් පද්ධතිය දියුණු කරන්න අපට නොහැකිද. නිවාස නොමැති පුද්ගලයන්ට නිවාස ලබාදීමට එම මුදල් යෙදවිය නොහැකිද. යම් පුද්ගලයකුට මේ රටේ ඡන්ද අයිතිය තිබෙනවා නම් ජාතික හැඳුනුම්පතක් තිබෙනවා නම්, මේ රටේ පුරවැසියෙක් නම් ඔහුට ඉඩක් නිවෙසක් තිබිය යුතුයි. ඒක ජනතාවගේ මානව අයිතියක්. මගේ වැඩපිළිවෙළ සාම්ප්‍රදායික දේශපානඥයන්ට අමිහිරි වන්න පුළුවන්. මගේ ජයග්‍රහයත් සමඟ දේශපානඥයන්ගේ සුරසැප කාලය අවසන්. දේශපාලනඥයෙක් විදේශීය නිල සවාරියක යනවා නම් ඔහු රටට සම්පත් රැගෙන ආ යුතුයි. මේ වන විට රටේ ජනතාවට සම්ප්‍රදායානුකූල දේශපාලනය තිත්ත වෙලා තිබෙන්නෙ."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top