Nov 05, 2019

චන්ද්‍රිකා මෛත්‍රීට සැර ලිපියක් යවයි Featured

පක්ෂ ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට විරුද්ධව පොහොට්ටුව සමග ගිවිසුම්ගත වී එහි අපේක්ෂකයාට සහාය දැක්වීමට තීන්දු කළද තමා ඇතුළු විධායක කාරක සභාවට හෝ සමස්ත ලංකා කාරක සභාවට විධිමත් ලෙස දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (04) ලිපියක් යොමු කරමින් හිටපු ජනපතිනිය මේ බව සදහන් කරයි.

පක්ෂයේ සංවිධාකවරුන්, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් සහ ප්‍රබල පාක්ෂිකයන් නොයෙක් වර තමා හමුවී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔවුන්ට වෙනත් මගක් පෙන්වන ලෙසට අයැදිමින් සිටින බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

සති කිහිපයකට පෙර පොහොට්ටුව සමග අත්සන් කර හොර රහසේ තබාගෙන ඇති ගිවිසුමට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මළගම සහතික කර තිබෙන බවත් බලලෝභී විනාශකාරීන් කිහිපදෙනෙකු විසින් ඉතාමත් භයානක ලෙස තම පක්ෂය විනාශ කිරීමට දියත් කර තිබෙන කුමන්ත්‍රණය පක්ෂයෙන් බේරාගෙන ආණ්ඩුවෙන් ලබාගත හැකි ප්‍රයෝජන පාක්ෂිකයන්ට ලබාදෙමින් පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙනයෑමට තිබෙන එකම විකල්පය මෙය බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.

රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු හා පක්ෂ සභාපති වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් සහගතව විනාශ කිරීමට කටයුතු කර මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව අලුත් පක්ෂයක් ගොඩනගාගෙන තිබෙන බවද එයට එරෙහිව පක්ෂය විනය කටයුතු කර නොමැති සේම එයට එරෙහිව ප්‍රකාශයක් හෝ සිදුකර නොමැති බවද එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top