Nov 08, 2019

70, 80 පැනපු අය විශ්‍රාම ගැන්විය යුතුයි - චන්ද්‍රිකා Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී සංවර්ධනය කිරීමට, ශක්තිමත් කිරීමට වැඩියෙන් අවස්ථාව ලැබෙන්නේ කාගෙන්දැයි බුද්ධිමත්ව සිතා බලා මෙවර ජනාධිපතිවරණයේ දී නිවැරදි තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිප පාක්ෂිකයින්ට සිදුවන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග පවසයි.

පොහොට්ටු පක්ෂයේ මහින්දගේ කණ්ඩායම පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමට උත්සහ කල ද එක්සත් ජාතික පක්ෂයෙන් පහුගිය අවූරුදු ප‌හේදී එවැනි අනිසි බලපෑමක් එල්ල නොවූ බවත් මේවනවිට එක්සත් ජාතික පක්ෂය බෙහෙවින් ප්‍රජාතන්ත්‍රවාදී වී තිබෙන බවත් හිටපු ජනාධිපතිනිය සදහන් කර තිබේ.

ඇය එබව සඳහන් කළේ UTV රුපවාහිනී නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවකදීය.

එහිදී හිටපු ජනාධිපතිනිය තවදුරටත් මෙසේද පැවසුවාය.

''තරුණ තරුණියෝ ආවොත් හැරමිටියෙන් හිටියත් මම ඇවිල්ලා උදවු කරනවා"

අපි තරුණ උගත් තමාගේ කියලා ආදායම් මාර්ගයක් තියෙන දේශපාලනයෙන් හොරකම් කරලා හම්බකරන්න බලාපොරොත්තු නොවන උගත් තරුණ තරුණියෝ අපි දේශපාලන කරළියට ගේන්න ඕනේ. එහෙම අය ඕනතරම් බලාගෙන ඉන්නවා. 

ඒ අය ආවොත් මම ඊයේ කිව්වා වගේ හැරමිටියෙන් හිටියත් මම ඇවිල්ලා උදවු කරනවා. එවැනි තරුණ පිරිස්වලට සූදානම් වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

දැන් එක්සත් ජාතික පක්ෂය හුඟක් ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තියෙනවා. ඒක නිසා බලලා ඉවරවෙලා තීන්දුවක් ගන්න කියලා මම කියන්නේ. 

කුමාර වෙල්ගම කියනවා වගේ මම ඡන්දය දෙන්නේ කාටද කියලා මම දන්නවා. ජනතාව තීන්දු කරන්න ඕනේ හරියට පැහැදිළිව හිතලා බලලා. කෑගහගෙන පපුවට ගහගෙන අරවා මේවා කරලා නෙවෙයි අපි බුද්ධිමත්ව හිතලා බලලා  තීන්දු ගන්න ඕනේ.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top