Nov 08, 2019

පොහොට්ටුවේ රැළියකට ගිය තරුණියකට ලිංගික අතවර

කෑගල්ල ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ දේශපාලන රැළියකට සහභාගි වී බස් රථයකින් ආපසු යමින් සිටි තරුණියකට ඔවුන් සමග සිටි තරුණයෙකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විමර්ශන ආරම්භ කර ඇත්තේ තරුණියගේ පියා කළ පැමිණිල්ලකට අනුවය.

තම බිරිඳ සමග රැළියට සහභාගිවීම සඳහා ගිය තම දියණිය රාත්‍රී 11 වන තෙක් නිවසට නොපැමිණි බව තරුණියගේ පියා පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පසුව කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයෙන් රැළියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි තරුණයෙකු මෙම තරුණිය හෙම්මාතගම අල්පිටිය බලවත්ගම කැලෑබද ස්ථානයකදී බස් රථයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top