Nov 09, 2019

දෙමළ පක්ෂවල අර්බුද උඩුදුවයි : බාගයක සහය සජිත්ට

යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මගින් උතුරේ දෙමළ පක්ෂ හා සංවිධාන පහකට ඉදිරිපත් කළ ඉල්ලීම් 13කින් යුත් යෝජනාව නිසා එම පක්ෂ හා සංවිධාන බෙදීමකට ලක්වී ඇති බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් යෝජනා 13ක් දේශපාලන පක්ෂ හා සංවිධාන හරහා ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාට පසුගියදා ඉදිරිපත් කර තිබිණි.

කෙසේවුවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එම යෝජනා ප්‍රතික්ෂේප කර තිබිණි.

අදාළ යෝජනා දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවට ඉදිරිපත් කළ ඒවා බවට චෝදනා කරමින් රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ අය මෙය ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඉන්දියාවටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ. සුමන්තිරන් ප්‍රංශයටත් ගොස් දෙමළ ඩයස්පෝරාව සමග එම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවටද චෝදනාවක් එල්ලවී තිබේ.

ඉන්පසුව දෙමළ පක්ෂවලට හා සංවිධානවලට සිය ස්වාධීන තීරණයක් ගැනීමට අවස්ථාව දීමෙන් පසුව මාවෙයි සේනාධිරාජාගේ නායකත්වයෙන් යුත් ඉලංගෙයි තමිල් අරසුකච්චි ධර්මලිංගම් සිද්ධාර්ථන් නායකත්වයෙන් යුත් ප්ලොට් හා සෙල්වම් අඩයිකලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ යන පක්ෂවල සහාය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළේය.

සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් එක්සත් දෙමළ මහජන පෙරමුණ, සුරේෂ් ප්‍රේමචන්ද්‍රගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ්. හා ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ නායකත්වයෙන් සමස්ත ලංකා දෙමළ සභාව යන පක්ෂ එම තීරණයට විරෝධය පා ස්වාධීනව සිටීමට මේ වන විට තීරණය කර ඇත.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ තමන් ඉදිරිපත් කළ යෝජනා ඉවත් නොකරගන්නා බවත්, උතුරේ දෙමළ පක්ෂ තමන්ව මෝඩයාට අන්දවා ඇති බවත්ය.

මූලාශ්‍රය - අරුණ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top