Nov 14, 2019

ජනපතිවරණ කාලයේ ත්‍රිවිධ හමුදාව කඳවුරුවලට Featured

ත්‍රිවිධ හමුදාව මැතිවරණ ආරක්ෂක රාජකාරිවලින් ඉවත් කර හෙට (15) සිට කඳවුරු තුළ සීරුවෙන් තැබීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වල විරෝධයක් හේතුවෙන් මේ තීන්දුව ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හෙට උදෑසන හයේ සිට, ඡන්ද පෙට්ටි, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන එනතුරු මාර්ග බාධක හා අනෙකුත් මාර්ග ආරක්ෂක රාජකාරිවලින් ත්‍රිවිධ හමුදාව ඉවත් කෙරෙනු ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් ත්‍රිවිධ හමුදාව ඔවුන්ගේ කඳවුරු තුළ සීරුවෙන් තැබීමට ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (13 වැනිදා) නියෝග කර ඇති බවද පැවසේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ත්‍රිවිධ හමුදාපතිවරුන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

මේ අනුව ත්‍රිවිධ හමුදාව හෙට (15) උදෑසන 6.00 සිට ජනාධිපතිවරණය පැවැත්වෙන 16 වැනිදා සවස 5.00 පසුවන තුරු හමුදා කඳවුරුවල සීරුවෙන් තැබීමට නියෝග ලැබී ඇත.

පොලිසියෙන් ඉල්ලීමක් ලැබුණහොත් පමණක් හමුදා භට කණ්ඩායම් යෙදවීමට උපදෙස් දී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ගැන මැල්කම් රංජිත් කාදිනල්තුමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ලබාදුන් ලිපියකින් පසුව යළිත් ත්‍රිවිධ හමුදාව යොදා රටේම ආරක්ෂාව තරකිරීමට ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබිණි.

ඒ අනුව මාර්ග බාධක වැඩිකර ත්‍රිවිධ හමුදාව පාසල් ඇතුළු ප්‍රධාන ස්ථානවලට යොදවනු ලැබුවේ ජාතික ආරක්ෂාව උදෙසාය.

මීට අමතරව උතුරු නැගෙනහිර පළාත්වල මත්ද්‍රව්‍ය වැටලීම් සඳහාද විශේෂ මාර්ග බාධක හා ජංගම මුර සංචාරද වැඩිකර තිබිණි.

ජනාධිපතිවරණ නිරීක්ෂණයට මෙරටට පැමිණි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් ඇතුළු තුන්සියයක පමණ විදෙස් නිරීක්ෂකයන් පසුගිය දිනවල මෙරට තුළ සංචාරය කරමින් ත්‍රිවිධ හමුදාව ආරක්ෂක රාජකාරි සඳහා යෙදවීමට විරෝධය පළකරමින් තම රටවල්වලට ලිඛිතවම වාර්තා යවා ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වලට ත්‍රිවිධ හමුදා මාර්ග බාධක හා මුර සංචාර පිළිබඳවද ඔවුන් වැඩිපුර අවධානය යොමුකරවා ඇති බවද එහි දැක්වේ.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ මාස දෙකක් තිස්සේ රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදූ වැඩපිළිවෙළක් වන බවත් විදෙස් නිරීක්ෂකයන්ගෙන් බහුතරයක් මෙරටට පැමිණ ඇත්තේ පළමුවරට බැවින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් ඔවුන්ට රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධව දැනුවත් නොකිරීමද මෙම තත්ත්වයට හේතුවූ බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියකු පෙන්වාදුන් බවද එහි සඳහන්ය.

මේ අනුව පොලිසිය පමණක් ආරක්ෂාවට යොදවන බවත් නිදහසේ ඡන්දය ප්‍රකාශය කිරීමට අවශ්‍ය පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඡන්දයෙන් පසු නැවත ත්‍රිවිධ හමුදාව පෙර පරිදි ස්ථානගත කරන බවත් එම නිලධාරියා පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top