Nov 17, 2019

සජිත්, මංගල, හරීන් හා අජිත් තනතුරු අත්හරිති Featured

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට තම සුභ පැතුම් පිරිනමන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලු පුරවැසියන්ට සිය ස්තුතිය පිරිනමන බවයි.

තම මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය හා සම්බන්ධ වු සියල්ලන්ට ප්‍රණාමය පුද කරන බවද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙරට ඉතිහාසයේ සාමකාමීම සහ ස්වාධීනම මැතිවරණය මෙවර පැවැත්වීමට හැකි වු බවද ඔහු කියා සිටී.

පරාජයේ වගකීම භාර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

මේ අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ද ලීඩර් වාර්තා කර තිබේ.

ඒ අනූව මංගල සමරවීර අමාත්‍යවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති අතර එහි පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති බවත් වාර්තා වේ.

අමාත්‍යවරයා මේ තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමිනි.

ජනවරමට ගරු කරමින් තමා ද කැබිනට් නොවන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

 

එසේම, හරීන් ප්‍රනාන්දු මහතා ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top