Nov 21, 2019

රනිල් ඉවත්වුණේ ඉන්දීය බලපෑමට?

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත්වීමට තීරණය කරනු ලැබුවේ ඉන්දීය බලපෑමකට දැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ කතිකාවක් මතුව ඇතැයි වාර්තා වේ.

පෙරේදා පස්වරුවේ සිට මාධ්‍ය විසින් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත්වන බවට වාර්තා කර තිබුණද එම අවස්ථාවේ ඔහු අදාළ ධූරයෙන් ඉවත්වීමට තීරණය කර නොතිබූ බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

කෙසේවුවද, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා විසින් හදිස්සියේ කැඳවන ලද මාධ්‍ය හමුවේදී වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත්විය යුතු බවට ප්‍රකාශයක් කර ඇත්තේ ජයග්‍රාහී රාජපක්ෂ පිලේ ඉල්ලීමකට අනුව බවට සැකයක් එජාප පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇතැයි ද මේ අතර වාර්තා වේ.

එසේම, පෙරේදා (19) රාත්‍රිය වන තෙක්ම වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී තිබී ඇත්තේ ව්‍යවස්ථානුකූලව කඩිනම් මැතිවරණයක් සඳහා යාම බවත්, ඔහු හදිස්සියේ ධූරය අත්හැරීමේ තීරණය සිය කිට්ටුවන්තයින්ට ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (20) පෙරවරුවේ බවත් පැවසේ.

Ranil India

ජනපති ගෝඨාභය හමුවී පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා හා වික්‍රමසිංහ මහතා අතර පෙරේදා (19) රාත්‍රියේ සකච්ඡාවක් තිබී ඇති අතර වික්‍රමසිංහ මහතා පෙර දැරූ ස්ථාවරය වෙනස්වීමට එම සාකච්ඡාව හේතුවීද යන්න පිළිබඳව සැකයක් ද මේවන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර තිබේ.

එම හමුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

PMO PressR

කෙසේවුවද, පසුගිය කාලයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ ඉන්දියාට සම්බන්ධ සමාගමක් විසින් බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබූ අතර ඒ මහතාට සහය දක්වන බවට ඉන්දීය රජයේ පාර්ශව ගණනාවක් පොරොන්දු ලබාදී පසුව මඟ හැර ඇති බවද පැවසේ.

මේ අතර, ලබන 29 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය සඳහා එක්වෙමින් ඉන්දියාවට යාමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top