Nov 26, 2019

CID නිලධාරීන් ගුවන් තොටේදී අත්අඩංගුවට ගන්න නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන හත්සිය දහදෙනාටම අනවසරයෙන් විදෙස් ගමන් යාමට තහනමක් පනවමින් එහි නව අධ්‍යක්ෂවරයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව වෙත ඊයේ (25) නියෝගයක් ලබාදී ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ සිට පහළම නිලධාරියා දක්වා මෙම නියෝගය පනවමින් අවසරයකින් තොරව විදෙස්ගත වීමට පැමිණෙන අය කටුනායක රහස් පොලිස් ඒකකය භාරයට ගන්නැයි මෙම නියෝගය ඊයේ (25) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයටද යොමුකර තිබේ.

එමගින් කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන අංශයට නම් ලැයිස්තු භාරදී ඇත.

බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ෆැක්ස් මගින් එවූ මෙම නිලධාරීන්ගේ නාමලේඛනය අපැහැදිලි බව ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව ඊයේ (25 ) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යළි දන්වා යැවූ බව ආගමන විගමන මාධ්‍ය ප්‍රකාශක මිලින්ද ගයාන් මහතා මාධ්‍යට පවසා තිබේ.

කටුනායක ගුවන් තොටුපළට ලද නම් ලැයිස්තුව පරිගණක ගත කිරීමට ඊයේ (25) පටන් ගෙන ඇත.

අවසර නොමැතිව විදෙස්ගතවීමට පැමිණෙන මෙම ලැයිස්තුවේ සිටින නිලධාරීන් කටුනායක රහස් පොලිස් ඒකකය වෙත යොමු කරන බව කටුනායක ගුවන් තොටුපළේ සහකාර පාලක සුජීව රත්නායක මහතා ද මාධ්‍යට පවසා ඇත.

(අරුණ)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top