විපක්ෂ නායක ධුරය පිළිබඳව මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
විපක්ෂ නායක ධුරය භාරගෙන පක්ෂය මෙහෙය වීමද සිදුකරන ලෙසත්, නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කරන ලෙසත්, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇත.
එම නායකත්ව මණ්ඩලය කේන්ද්‍ර කර ගනිමින් පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සිදුකිරීමටද සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
පක්ෂ නායක තවදුරටත් රනිල්
මේ අතර එජාප ජ්‍යෙෂ්ඨයන් පක්ෂයේ ගැටුම් විසඳෙන තෙක් පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ භාරයේම තබාගන්නා ලෙසද යොජනා කර ඇතැයි පැවසේ.
එසේම පාර්ලිමේන්තු බහුතරය එජාපය සතුවන බැවින් කථානායක ධූරයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනා කිරීමට ද මෙහිදී යෝජනා වී තිබේ.
මෙම යෝජනාව සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
තීන්දු ගන්න එජාප මන්ත්‍රී කණ්ඩායම 5දා රැස්වෙයි
විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවද මේ අතර වාර්තා වේ.
ලබන බ්‍රහස්පතින්දා (05) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ මොන්ගෝලියාවේ සංචාරයක නිරත වීමටද නියමිත බව පැවසේ.
ඒ මහතා නත්තල් සමයේද ශ්‍රී ලංකාවේ නැතැයි පැවසේ.
මහ මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වීම පිළිබඳවද මන්ත්‍රී කණ්ඩායමේදී සාකච්ඡා කිරීමට නියමිතය. එම යෝජනාව ස්ථීර වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල කැඳවා පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත.
මේ අතර විපක්ෂ නායක ධුරය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අනෙකුත් තනතුරු සම්බන්ධයෙන්ද මෙම බ්‍රහස්පතින්දා (05) තීරණයක් ගන්නා බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (02) ප්‍රකාශ කළේය.
ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගැනද පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡා කර තීරණයක් ගන්න බව අකිල විරාජ් කාරියවසම් කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.