OPEN

#

OPEN

#

Dec 08, 2019

කොළඹ වරාය නගරය ආයෝජකයින්ට විවෘත කරයි (වීඩියෝ) Featured

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආයෝජකයින් සඳහා විවෘත කිරීම ඊයේ (07) රාත්‍රියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයෙයුවාන් මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

හෙක්ටයාර 269 ක් වන මෙම භූමිය මෙරට භූමියේ කොටසක් ලෙස එක් කිරීමේ නිල උත්සවය ද වූ මෙම උත්සවයේදීදී සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද නිකුත් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දරන සමයේ 2014 සැප්තැම්බර් මස 17 වැනිදින කොළඹ වරාය නගරය සදහා මුල්ගල තැබුණේ චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

චීනයේ CHEC පෝර්ට් සිටී කලම්බෝ සමාගම මෙම ව්‍යපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් ආයෝජනය කිරිමට ඉදිරිපත්වු අතර ඒ අනුව කොළඹ වරාය සහ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අතර මුහුද හෙක්ටයාර 233 ක් ගොඩකිරිමට සැලසුම් කෙරුණි.

මෙම ව්‍යාපෘතිය සඳහා මුලිමුනින්ම චීන සමාගම මුදල් ආයෝජනය කිරිම හේතුවෙන් ඔවුන්ට හෙක්ටයාර 20 ක් සින්නක්කරව ලබාදීමට එවකට රජය එකඟත්වය පළකර තිබුණි.

කෙසේවෙතත් 2015 වසරේ බලයට පත් යහපාලන රජය මෙහි වැඩ කටයුතු තාවකාලිකව නතර කර පරිසර දත්ත වාර්තා යළි සකස් කර මුල් ගිවිසුමද සංශෝධනය කරනු ලැබුවේය.

ඒ යටතේ ගොඩකිරිමට අපේක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 269 දක්වා වැඩිකළ අතර චීන සමාගමට ලබාදී තිබු හෙක්ටයාර 20 වෙනුවට හෙක්ටයාර 116 දක්වා භූමි ප්‍රමාණයක් 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදීමට යහපාලන රජය ගිවිසුම් අත්සන් කළේය.

භූමිය ගොඩකරන්න වැලි කියුබ් මිලියන 65ක් යොදයි

ඉදිකිරිම් කටයුතු අවසන් කර ඇති මෙම කොළඹ වරාය නගරයේ දිය කඩනයේ දිග කිලෝමිටර් 3.2 ක් වන අතර ඒ සදහා කලුගල් සහ කොන්ක්‍රීට් කුට්ටි භාවිතාකර තිබේ.

භූමිය ගොඩකිරිම සදහා මුහුදු වැලි කියුබික් මීටර මිලියන 65 ක් යොදාගෙන තිබෙන අතර එහි ගොඩනැගිලි ඉදිකිරිම් කටයුතු කළහැකි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 178 කි.

ඉදිකිරිම් කටයුතු සිදුකළ හැකි මෙම හෙක්ටයාර 178 ක භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 116 ක් චීන සමාගමටත් ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරිම් කටයුතු සදහා බදුදීමේ අවස්ථාව හිමිවෙයි.

දෙවැනි අදියර අද සිට ඇරඹේ

කොළඹ වරාය නගරයේ දෙවන අදියර අද (08) සිට ආරම්භ වන අතර ඒ යටතේ මහා මාර්ග, විදුලිය, ජලය සහ මල ප්‍රවාහන පද්ධති සකස් කිරීමද මෙම ඉදිකිරිම් සමාගම විසින් සිදුකිරිමට නියමිතයි.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරය යටතේ පැවරෙන භූමියේ ඉඩම් ශ්‍රී ලංකා රජය විසින් අද සිට ව්‍යාපාර කටයුතු සඳහා වෙන්දේසි කිරිමට අයිතිය හිමිවින අතර චීන සමාගමට හිමිවන හෙක්ටයාර 116 ක භූමිය ඔවුන්ටද ප්‍රතිබදු දීමට අවස්ථාව හිමිවෙයි.

මේ උත්සවයට සමගාමීව විශේෂ මල් වෙඩි සංදර්ශනයක් ද වරාය නගර පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එය නැරඹීමට විශාල පිරිසක් ගාළු මුවදොර පිටියට පැමිණ සිටියේ ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top