Dec 13, 2019

ආණ්ඩුවට වඩා ජනතාවගේ වැඩි විශ්වාසය අධිකරණයට Featured

අධිකරණය, ආණ්ඩුව සහ පොලිසිය අතරින් වඩාත් විශ්වාසදායක ආයතන කුමක්ද යන්න විමසීමේදී බහුතරයක් වූ ජනතාව අධිකරණය වශයෙන් පිළිතුරු ලබාදී තිබෙන බව 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ග්ලෝබල් කරප්ෂන් බැරෝමීටර් (global corruption barometer) වාර්තාවේ දැක්වේ.

දෙවන සහ තුන්වන ස්ථාන බවට පිළිවෙලින් පත්ව ඇත්තේ පොලිසිය සහ රජයයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පළාත් නමයක වෙසෙන නාගරීක ග්‍රාමීය සහ වතුකරය නියෝජනය කරන පුද්ගලයන් 1300 දෙනෙකුගෙන් ලබාගත් දත්ත මගින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

එම පිරිසෙන් හතරෙන් එකක් රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට හෝ කඩිනම් කර ගැනීමට අල්ලස් ලබාදීම වරදක් නොවන බව ප්‍රකාශ කර ඇත.

කෙසේවුවද ඔවුන්ගෙන් තුනෙන් දෙකක් අල්ලස් ලබාදීම අනුමත නොකරන බවත් පවසා තිබේ.

ඒ අතරින් 86% ක පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් ක්‍රියාත්මක වන බවට යම්තාක් දුරට දැනුවත්ව සිටින බවද එම වාර්තාව හෙළිකර ඇත.

මෙම සමීක්ෂණයේ දී රාජ්‍ය නිලධාරින් විසින් රාජ්‍ය සේවා සැපයීමේදී ලිංගික අල්ලස් යන ක්ෂේත්‍රය ගැන ලිංගික ක්‍රියාවක් සිදු කිරීමට ඉල්ලා සිටීම හෝ බලකිරීම ඉඳහිට, බොහෝ විට හෝ නිරතුරුව සිදු වන බව 46%ක් ප්‍රකාශ කොට තිබෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top