Feb 02, 2017

''ඉදිරියේදී ආණ්ඩුව ගැනත් දැඩි තීරණ ගන්නවා” - ජනාධිපති

වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීමේදී ජනතාව තැබූ විශ්වාසය කඩවීමට කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කර සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පැවති ආණ්ඩුවල මෙන්ම වත්මන් ආණ්ඩුවේ ද දූෂණ සහ වංචා පිළිබඳ චෝදනා විමසා බලා ජනතා මතය අනුව යම් යම් තීන්දුවලට එළඹීමට ඉදිරියේදී තමන්ට සිදුවනු ඇතැයි කියා සිටියේය.

එරාවුර් අලිහාර් ක්‍රීඩාංගණයේ ඊයේ (01) පස්වරුවේ පැවැත්වූ ජන හමුවකදී ඔහු මෙම කාරණය පැවසිය.

කුමන දේශපාලන මතයක් දැරුව ද ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහාය දැක්වීම සියලු දේශපාලන පක්ෂවල වගකීමක් බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

මැතිවරණයකදී ජනතා කැමැත්තෙන් මිස ආණ්ඩුව පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

''රට බෙදන කතා බොරු"

රට බෙදීම සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට ඇතැම් උදවිය අසත්‍ය ප්‍රචාර ගෙනයන බව පැවසු ජනාධිපතිවරයා, "ජාතීන් අතර සමගියත් සංහිඳියාවත් ඇතිකිරීම සඳහා මූලික විසඳුමක් විදියට අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කටයුතු මේවනවිට කරගෙන යනවා. මේ පිළිබඳව ඇතැම් අය අසත්‍ය ප්‍රචාර කරනවා. අපි රට කඩන්න හදනවා කියනවා. රට බෙදන්න හදනවා කියනවා. විදේශීය බලවේගවලට යටත්වෙලා කියනවා. ඒවා සම්පුර්ණයෙන්ම අසත්‍යයි." යයි ද කියා සිටියේය.

ඔහු තවදුරටත් කියා සිටියේ රට බෙදීමකින් තොරව සංහිඳියාව ශක්තිමත් කෙරෙන බලය බෙදීමක් සිදු කළයුතු බවට විපක්ෂ නායකවරයා ද ඉල්ලීමක් කර ඇති බවය.

 "විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා කිව්වා රට කඩන්නේ බෙදන්නේ නැතිව මේ රටේ බලය බෙදීමේ අවශ්‍යතාවක් එතුමා දකින්නේ කියල. ඒ උතුම් අරමුණ ඉටුකර ගැනීම සඳහා අපි රජයක් විදියට කැපවී සිටිනවා." යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

"පිංකමක්"

මෙම අවස්ථාවට සහභාගිවී සිටි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා සභාව අමතමින් කියා සිටියේ මෙතෙක් පැවති සාකච්ඡාවලින් තීරණයකට පැමිණ ඇත්තේ ඒකීය රාජ්‍යයක් දේශපාලන විසඳුමක් ඇතිවිය යුතු බවය.

"මේ කාරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ සහයෝගය අපි පතනවා. ජනතාව අතර ද්වේශය ඇති නොකර, හැත්තෑ අවුරුද්දක් පුරා නොවිසඳුණු ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාගැනීමට උදව් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. එය පිංකමක්" යනුවෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top