OPEN

#

OPEN

#

Jan 14, 2020

‘විගණන සේවයේ’ කැබිනට් පත්‍රිකාව එයි Featured

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙවර කැබිනට් මණ්ඩලයේ දී මෙම පත්‍රිකාව සාකච්ඡාවට භාජනය කරනු ඇතැයි විගණන පරීක්ෂක සේවා සංගමය විශ්වාසය පළ කරයි.

මෙම සේවය ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් විගණන පරීක්ෂක සේවා සංගමය මීට දෙසතියකට පෙර උද්ඝෝෂණයක් ද පැවැත්වීය.

විගණන සේවය මෙතෙක් නොපිහිටුවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජාතික විගණන පනත ද උල්ලංඝනය වී ඇතැයි දැනුම් දෙමින් ජාතික විගණන කාර්යාල නිලධාරින්ගේ ව්‍යවස්ථාපිත සේවාව වන රාජ්‍ය විගණන සේවාව පිහිටුවීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණේ ඉකුත් දෙසැම්බර් මසදීය.

2018 වසරේ අගෝස්තු මස පළමු වැනිදා පාර්ලිමේන්තුවෙන් සම්මත කළ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ නියමයන්ට අනුව පනත සම්මත වී මාස තුනකින් විගණන සේවය පිහිටුවීම අනිවාර්ය වුවද මේ දක්වා එම කාර්යය ඉටු වී නැති බවත් මේ නිසා රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළව විගණනයන් ඉටු කිරිමට විගණන සේවා නිලධාරීන්ට නීත්‍යනුකූල බලයක් හෝ වගකීමක් නොමැති වාතාවරණයක් නිර්මාණය වී ඇති බවත් එම සංගමය ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විගණන සේවය පිහිටුවීමට අනුමැතිය ලබා දී එම කාර්යය ඉටු කිරීමේ වගකීම හිටපු ජනාධිපති ලේකම්වරයාට පවරා තිබූ නමුත් එම ලේකම්වරයා, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ විගණන කොමිෂන් සභාවේ සාමාජිකයන් හිටපු ජනාධිපතිවරයාගේ නියෝගය සැලකිල්ලට නොගෙන විගණන සේවය පිහිටුවීමට කටයුතු නොකළ බවද එම ලිපියේ සඳහන් කර තිබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top