OPEN

#

OPEN

#

Jan 15, 2020

පක්ෂ විනය කඩකළ මන්ත‍්‍රීලාට කේස් - සන්ධානයක් වුනොත් පොහොට්ටු ලකුණ බෑ! Featured

පක්ෂ විනය කඩකළ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹෙන (18) වැනිදා අවසන් තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසූවේ  ඊයේ (14) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුකකට එක්වෙමිනි.

පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ආසන මට්ටමින් තරුණ බලමණ්ඩල පිහිටුවා ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීමට මේ වනවිට කටයුතු කරන බවද පක්ෂයේ ජේෂ්ඨයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ අධීක්ෂණයෙන් විශේෂ කමිටුවක් හරහා එම සංවිධායකයන් තෝරා ගැනීමට නියමිතව තාබේ.

පක්ෂ සංවිධායකවරුන් ලෙස ශ්‍රීලනිපය ට සම්බන්ධවීමට අදහස් කරන පිරිස් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නමට ශ්‍රී ලනිප මූලස්ථානය වෙත ඉල්ලුම්පත් යොමුකරන ලෙසද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ශ්‍රී ලනිපයට අද අවශ්‍ය වී ඇත්තේ රටට වැඩ කළ හැකි දක්ෂ තරුණ නායකයන් බිහිකර ගැනීම බවද විද්වතුන් රාශියක් ආසන සංවිධායකවරුන් ලෙස පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් සිටින බවද ශ්‍රීලනිප මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසයි.

සන්ධානයක් වුනොත් පොහොට්ටුව අහිමි වෙනවා

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස පොහොට්ටුව ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කළහොත් පොදුජන පෙරමුණට සිය ලාංඡනය වන පොහොට්ටුව අහිමිවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
 එම නිසා ශ‍්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලකුණ පොහොට්ටුවද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවද  ඉදිරියටත් සන්ධානයක් යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමටත් සන්ධාන ආණ්ඩුවක් යටතේ වැඩ කිරීමටත් සිය පක්‍ෂය සූදානම් බවද මහලේකම්වරයා සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top