Jan 16, 2020

විජේවීරගේ බිරිඳ ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

අතුරුදන්ව සිටින බව කියන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින් ගොනු කරන ලද අභියාචනාපෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (16) විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

එය සිසිර ද ආබෲ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුවේය.

එහිදී චිත්‍රාංගනී විජේවීර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතුරුදන්ව සිටින සිය සේවාදායිකාවගේ සැමියා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ඇය මුලින්ම අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

එහෙත් එය සලකා බැලූ අභියාචනාධිකරණය වසර තිහකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරමින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එම අභියාචනාධිකරණ නියෝගය බල රහිත කර මෙම පෙත්සම යළි විභාගයට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චිත්‍රාංගනී විජේවීර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද ඇයගේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top