Jan 17, 2020

තෙල් අරාබිකරයෙන් බැරිනම් සිංගප්පූරුවෙන් හෝ මැලේසියාවෙන්  Featured

ඉරාන-ඇමරිකා යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග රටවලින් ඉන්ධන ආනයනය කිරීමේදී බාධා ඇති වුවහොත් සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් අවශ්‍ය තෙල් තොග ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉන්ධන ටොන් 16,000 ක් රැගත් නෞකා පැමිණීමට නියමිත බවත් තවත් ඉන්ධන ටොන් 15,000 ක් රැගත් නෞකා මේ මස 24,25 යන දිනවලදී මෙරටට පැමිණීමට නියමිත බවත් ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එම නාවික ගමනාගමනයට බාධා ඇතිවුවහොත් ඊට පිළියමක් වශයෙන් සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා සැලසුම් කර ඇති බවද පැවසේ.

දින 15කට තෙල් තියෙනවා

කෙසේ වෙතත් ඉදිරි දින 15 තෙක් ඇති තරම් ඉන්ධන තොග ගබඩා සතුව තිබෙන බවට ප‍්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා වෙත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරීන් විසින් දැනුම් දී ඇත.

ඒ අනුව පෙට‍්‍රල් 92 ටොන් 47,947 ක්, පෙට‍්‍රල් 95-ටොන් 16,000 ක්ද, ලංකා ඔටෝ ඞීසල් ටොන් 111,957 ක්ද, සුපර් ඞීසල් ටොන් 4463 ක්ද, ගුවන් යානා ඉන්ධන ටොන් 38,086 ක්ද, දැවි තෙල් ටොන් 70130 ක්ද ගබඩා සතුව පවතින බව එම නිලධාරීන් ඇමැතිවරයාට දැනුම් දී තිබේ.

ඊට අමතරව හම්බන්තොට වරාය ආශ‍්‍රිතව පවතින ඉන්ධන ටොන් 71000 ක් ගබඩා කර ගත හැකි ඉන්ධන ටැංකි අමතර ඉන්ධන ගබඩා කර තබා ගැනීම සඳහා භාවිතා කරන ලෙසද ඇමැතිවරයා සංස්ථාවට දැනුම්දී තිබේ.

"ගන්න මිල වැඩිනම් පාඩුව ජනතාවටයි"

"අපේ රටේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන්නේ නෑ. දැනට අලාභ විදිමින් තමයි ඛනිජ තෙල් මිල තීරණය කරලා තියෙන්නේ. ගන්න මිල වැඩිනම් පාඩුව ජනතාවට විදින්න වෙන්නේ. ඒ අනුව රජය විසින් ගැළපීමක් කරයි" යනුවෙන් පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top