Jan 18, 2020

රටපුරා රතු කැකුළු, සුදු කැකුළු නාඩු හිඟයක්: එළවලු කඩ හොරු කඩයි Featured

රටපුරා සුදු කැකුළු, රතු කැකුළු හා නාඩු සහල්වල හිඟයක් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අරුණ පුවත්පත මේබව වාර්තාකර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

මෙම තත්ත්වය මත එම සහල් වර්ගවල මිල රුපියල් සියය ඉක්මවා ඇති බවත්, සුදු කැකුළු සහල්වල මිල රුපියල් එකසිය දහයකටත් (118/-) වඩා වැඩි බවත් පැවසේ.

මේ දිනවල වෙළෙඳපොළට වැඩි වශයෙන් කීරි සම්බා සහල් සහ සම්බා සහල් පමණක් නිකුත් වන නිසා මෙසේ අනෙක් සහල්වල මිල ඉහළ යාමට හේතුවී තිබේ.

ප්‍රධාන පොළේ සහල් මෝල්වලින් කරන ලද විමසුමක දී එහි ප්‍රකාශකයන් පැවසුවේ තමන් ළඟ මේ වන විට පවතින්නේ කීරි සම්බා වී පමණක් බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී සුපිරි වෙළඳ සැල්වලද මේ හිඟය මෙලෙසම පවතින බව අනාවරණය විය.

එළවලු හොරු

මේ අතර, ගාල්ල - බද්දේගම එළවලු වෙළෙඳුන් පෙන්වා දෙන්නේ මිල ඉහළයාමත් සමඟ තම ප්‍රදේශයේ එළවලු සොරුන් බිහිව ඇති බවයි.

බද්දේගම නගර මධ්‍යයේ පිහිටා ඇති එළවලු වෙළෙඳසැල් දෙකකට පෙරේදා (16) අලුයම් කාලයේ සොරුන් ඇතුළු වී රුපියල් ලක්ෂ ගණනක එළවලු සොරකම් කර ඇතැයි ඔවුහු කියති.

වෙළෙඳසැලේ ඇති කැට කිහිපයක තිබූ මුදල් ද සොරුන්ගේ ග්‍රහණයට හසුව ඇති බව පැවසේ.

වෙළෙඳුන් පවසන්නේ එළවලු මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළයාමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

බද්දේගම පොලීසිය මෙම සොරකම් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මේ සොරුන් වැඩියෙන් රැගෙන ගොස් ඇත්තේ කිලෝවක් රුපියල් 480ත් 500ත් අතර වන කැරට් සහ ලීක්ස් බවද එම වෙළෙඳසැල් හිමියෝ කියති.

එහි තිබූ රතුළුණූ බෑගයක්ම රැගෙන ගොස් ඇති බවත්, මේවන විට රතුළුණු කිලෝවක් රුපියල් 750ත් 800ත් අතර වන බවද පැවසේ.

මෙසේ එක් වෙළඳ සැලකින් සොරකම්කර ඇති එළවලුවල වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවන බවද පැවසේ.

එළවලු වෙනුවට ආදේශක යොදාගන්න - ඇමති යාපා

මේ අතර, එළවලු මිල ගැන සැලකිල්ලෙන් සිටින ලෙසත්, එළවලු වෙනුවට වෙනත් ආදේශක ඇත්නම් ඒවා යොදාගන්නා ලෙසත් අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එළවලු මිල ඉහල යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේද නොයෙක් ආකාරයේ පෝස්ට් පලව තිබේ. කිහිපයක් පහත දැක්වේ.

Vegetable FB Post 005

Vegetable FB Post 001

Vegetable FB Post 006

Vegetable FB Post 002

Vegetable FB Post 004

Vegetable FB Post 003

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top