Jan 18, 2020

රන්ජන් රෙකෝඩ්ස් අනුව විනිසුරුවෝ අත්අඩංගුවට! Featured

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවලින් අනාවරණය වන අධිකරණ විනිසුරන්, බලපෑම්වලට නතු වී නඩු තීන්දු වෙනස් කර ඇති බව විමර්ශනවලින් තහවුරු වුව හොත් ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ විනිසුරන් තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.

එසේ ප්‍රශ්න කිරීමට නියමිතව සිටින්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක, මන්ත්‍රීවරයාගේ හඬපට නිසාම වැඩ තහනමට ලක් වුණු බද්දේගම ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සහ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය යන මහත්වරුන්ගෙනි.

ඒ විනිසුරන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු විමර්ශන උද්ධෘතයන් නීතිපතිවරයාට යොමු කිරීමට නියමිත අතර, එයින් පසු ලැබෙන උපදෙස්වලට අනුව ඉදිරි නෛතික පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තවත් විනිසුරන් රැසක් සමඟ මේ ආකාරයට සංවාදවල නිරතව ඇති බවට තොරතුරුද මේ වන විට සමාජගතව තිබේ.

ඒ ගැන කළ විමසුමේදී ඒ පොලිස් නිලධාරියා සඳහන් කර සිටියේ රන්ජන් රාමනායක මහතාගේ ලක්ෂයකට අධික හඬපට සියල්ලට මෙතෙක් පොලීසිය සවන් දී නැති බවය.

රජයේ රස පරීක්ෂකවරයාට ඒ හඬපට ඇතුළත් තැටි යොමු කර ඇති බවත්, රස පරීක්ෂකවරයා විසින් ඒ තැටිවල සහතික කරන ලද පිටපත් අපරාධ කොට්ඨාසයට ලබා දීමෙන් අනතුරුව ඒවාට සවන් දී, ඒ කියන විනිසුරන් කවුරුන්දැයි හඳුනාගත යුතුව ඇති බවත් ඒ නිලධාරියා පැවසීය.

ඒ හඬපටවලට සවන් දී විශ්ලේෂණය කිරීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම සූදානමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

විනිසුරන් තිදෙනකු සම්බන්ධයෙන් නීතිපති උපදෙසින් මේ වන විට විමර්ශනයක් සිදු කෙරෙන්නේ පොලිස් භාරයට ගත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩපටවලින් හෙළිදරවු වන කරුණු මුල් කරගෙන නොවන බවත්, මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් හඬපට ඔස්සේ බවත් ඒ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය - සිළුමිණ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top