Jan 19, 2020

බැසිල් ලබන සතියේ ලංකාවට : මහින්දට ඉල්ලන තැන ගැන ගැටලුවක් Featured

ජනාධිපතිවරණයෙන් සති දෙකකට පමණ පසුව ඇමරිකාව බලා පිටත්ව ගිය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ යළිත් ලංකාව බලා පැමිණීමට නියමිතව ඇතැයි මාධ්‍ය වාර්තා පලව තිබේ.

එමෙන් ම ඇමරිකාවේ ගත කළ පසුගිය සති කිහිපයේදී ඔහු ‘ඇමරිකානු පුරවැසිභාවය’ අත්හැරීමට අදාළ නෛතික පියවර ගැනීමට ද කටයුතු කළ බව වාර්තා වූ නමුත්, ඔහු මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකිරීමට තීන්දු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

කෙසේවුවද, ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ගෙන් කිහිපදෙනෙකුම බැසිල් රාජපක්ෂ මහතා අමතමින්, ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන මැතිවරණයට ඉදිරිපත්වන්නැයි ඉල්ලීම් කර ඇති බවද පැවසේ.

කෙසේවුවද, ඊට පිළිතුරු ලෙස රාජපක්ෂ මහතා ‘තමන්ට 2020 මහමැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නැති බව පවසා ඇතැයිද මේ අතර වාර්තා වේ.

තමාට 2020 ට තරග කිරීමට අවශ්‍යතාවක් නැතත් තමා 2025 ට තරග කරණ බවද පවසා ඇතැයි වාර්තා වේ.

මහින්ද එන්නේ කුරුණෑගලින් ද? ගම්පහින් ද?

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුම දිස්ත්‍රික්කය තෝරමින් සිටින බව ද වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයාට මනාප ලක්ෂ 10ක් පමණ ලබා ගත හැකි බැවින් ගම්පහින් තරග කරන්නැයි වැඩි දෙනෙකු ඉල්ලා ඇතැයි පැවසේ.

ඒ ලක්ෂ 18කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචිව සිටින බැවිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top