Jan 20, 2020

හිටපු ජනපතිට හා අගමැතිට විරෝධතා ගොනු කිරීම මාර්තු 06 දා

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කළ බවට චෝදනා කර ඇති පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දුන්නේය.

මෙම පෙත්සම් අද (20) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් මෙම විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍ය වරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු දෙදෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 6 වන දා ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top