Jan 20, 2020

අල්ලස් හෝ දූෂණ නඩුවෙන් කෙහෙළිය නිදහස්

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට අල්ලස් කොමිසමෙන් පවරන ලද නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20)  නියෝග කළාය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේ සහ කොමිසමේ අනුමැතියකින් තොරව නඩුව පවරා ඇති බවට මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රකාරව මොවුන් නිදහස් කර තිබේ.

2012 වසරේ මාර්තු මස 15 වනදා සිට  එම වසරේ අප්‍රේල් මස 14 වන දා දක්වා කාලසීමාව තුළ එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් පෞද්ගලික ජංගම දුරකථනයෙහි බිල වන රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

2018 අප්‍රේල් මාසයේදී අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණි.  

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top