Jan 23, 2020

විල්පත්තු නඩුව කල්යයි

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපය හෙළිකර අනවසර ලෙස නීති විරෝධී ඉදිකිරීම් සෑදීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාග කිරීම මුලින්ම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ එම පෙත්සම යළි කැඳවීම හේතුවෙන් එහි විභාගය ලබන 27 වැනිදා දක්වා කල් තැබීමට තීරණය විය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද (23) අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම නඩුව විභාග කිරීම තමන් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බැවින් එය විනිසුරු ජනක් ද සිල්වා මහතා හමුවට යොමු කරන බව එහිදී අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව යළි පෙත්සම විනිසුරු ජගත් ද සිල්වා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එය ලබන 27 වන දා යළි කැඳවන ලෙසත් එදින එය විභාග කිරීම සඳහා දින නියම කරන බවත් විනිසුරු ජනක් ද සිල්වා මහතා නියම කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top