Jan 25, 2020

කිරිපිටි නිසා ලෙඩ 21ක්  Featured

ආනයනික කිරිපිටි පානය කිරීමෙන් ලෙඩ රෝග රැසකට මඟ පෑදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි.

මේ නිසා කිරිපිටි ආනයනය සීමා කිරීම පිළිබඳව බැලීමට හා දියර කිරි භාවිතය ඉහළ නැංවීමට විශේෂ විද්වත් මණ්ඩලයක් ද සෞඛ්‍ය අමාත්‍යංශය පත්කර තිබේ.

එම විශේෂ විද්වත් මණ්ඩලයේ සාමාජික වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා කියා සිටියේ කිරිපිටි බීමෙන් සෞඛ්‍යයට හානිකර ප්‍රතිඵල ලැබෙන අතර එවැනි අන්තරා විසිඑකක් හඳුනාගෙන තිබෙන බවය.

එයින් පහළොවක් දරුවන්ටද හයක් මව්වරුන් ඇතුළු වැඩිහිටියන්ගේ ද සෞඛ්‍යයට බලපාන බව ඔහු කීය.

වසරකට කිරිපිටි ආනයනය වෙනුවෙන් රුපියල් බිලියන 55 ක් පමණ වැය කරනු ලැබුවද කිරිපිටි නිසා මෙරට ජනතාවට හා සෞඛ්‍යමය වශයෙන් වාසියක් අත්නොවන අතර කිරි නමින් ජනතාව පානය කරනු ලබන්නේ රසායනික සංයෝග එකතුවක් බව වෛද්‍යවරයා අවධාරණය කළේය.

කිරිපිටි පානය කිරීම සම්පූර්ණයෙන් නවතා දියර කිරි බීම හෝ ආදේශන වශයෙන් ආහාර වර්ග වතුර හෝ කැඳ වර්ග භාවිතය අඩු වියදම් සහිත සෞඛ්‍යසම්පන්න කටයුත්තක් බවත්, කිරිපිටිවල තිබෙන රසායනික සංයෝග හේතුවෙන් ඊට ඇබ්බැහි වීමක් ඇති කරන බවත් පෙන්වා දුන් ඔහු ජනතාවට කිරිපිටි වලින් සිදුවන හානිය පිළිබඳ දැනුම ඉතා අඩු බවද කියා සිටී.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය අංශයේ සාමාජික වෛද්‍ය නලින් ද හේරත් මහතා කියා සිටියේ කිරිපිටි පානය හානිකර බවත් කිරිපිටි තුළ පාම් ඔයිල් වැනි දේ තිබෙන බවට පරීක්ෂණ මගින් ඔප්පු කර තිබෙන හෙයින් එමගින් ජනතා සෞඛ්‍යයට සිදුවන හානිය පිළිබඳව 2012 වසරේ සිට බලයේ සිටි ආණ්ඩු දැනුවත් කර තිබෙන බවයි.

(රාවය)

සබැදි පුවත්

බෝනොවන ලෙඩ හැදෙන්නේ කිරිපිටි නිසයි

බෝනොවන ලෙඩ හැදෙන කිරිපිටි සීමා කරන්න යයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top