Jan 25, 2020

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස යසන්ත කෝදාගොඩ පත්කිරීමට අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කල නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ.

එමෙන්ම නීතිඥ යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පදවියට පත්වීමෙන් පුරප්පාඩු වන අභියාචනාධිකරණයේ සභාපති ධූරය සඳහා ඒ.එච්.එම්.දිලීප් නවාස් මහතා පත්කිරීමටද ඊයේ (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉහත නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලිඛිතව දන්වා එවා තිබිණි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, ආර්. සම්බන්ධන්, තලතා අතුකෝරළ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් වන එන්. සෙල්වකුමාරන් සහ ජාවිඩ් යූසුෆ් ඇතුළු සාමාජිකයන් පිරිසක් සහභාගී විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top