Jan 27, 2020

බදියුදීන්ට එරෙහි විල්පත්තු නඩුව විභාගයට දින දෙයි

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ වැඩිදුර විභාගය ලබන 12 වැනිදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

මෙම පෙත්සමට අදාළ විභාග දිනය නියම කිරිම සඳහා  අදාල පෙත්සම අද (27) ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බව පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top