Feb 09, 2020

එයාර්බස් - ශ්‍රීලන්කන් ගනුදෙනුවට තවත් ප්‍රබල චරිත දෙකක නම්

ශ්‍රීලන්කන් එයාර්ලයින් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳගෙන් මුදල් ලබා ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු විසින් පවත්වාගෙන යනු ලබන විදේශ බැංකු ගිණුම් පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එයාර් බස් වෙතින් ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගුවන්යානා මිලදී ගැනීමට සහතික වීම වෙනුවෙන් එම සමාගම පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් මිලියන 16.84 (රුපියල් බිලියන 3) ක අල්ලස් මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් (රුපියල් මිලියන 362) ලබා ගත් බවට මේවන විට චෝදනා ලැබ සිටින චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක පසුගිය බ්‍රහස්පතින්දා සිට ලබන පෙබරවාරි 19 වැනිදා දක්වා මේවන විට රිමාන්ඩ් කර තිබේ.

මෙම රහස් පොලිස් කණ්ඩායම විසින් චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ කාලයේදී ඔහු සහ ඔහුගේ බිරිඳ විසින් සිදුකරන ලද විදේශ බැංකු ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට නියමිතය.

විමර්ශනයේ කොටසක් ලෙස සැකකරුවන් විදෙස් බැංකුවල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවට දන්නා විදේශීය බැංකුවලින් මේ පරීක්ෂණ කණ්ඩායම තොරතුරු ඉල්ලා සිටීමට නියමිත බවද පැවසේ.

නීතිපතිවරයා මීට පෙර පොලිසියට උපදෙස් දී තිබුණේ සිංගප්පූරුවේ නඩත්තු කරන ලද ගිණුමකට එයාර් බස් සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත් බවට එල්ල වූ චෝදනාවලට අදාළව ශ්‍රීලන්කන් ප්‍රධාන විධායක නිලධාරියා හා බිරිය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙසය.

එක්සත් රාජධානියේ වූ නඩු විභාගයකදී ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ බිරිඳ විසින් බෲනායි හි පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට මෙම මුදල් බැර කර ඇති බව හෙළිවිය.

කෙසේවුවද, ඉකුත් නඩුවාරයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ මෙම යුවළ සතුව ඇති ගිණුම් හරහා වෙනත් පුද්ගලයින් විසින් විදේශයන්හි තබා ඇති ගිණුම්වලට ගනුදෙනු සිදු කර ඇති බවයි.

එවැනි පුද්ගලයින් දෙදෙනෙකු හෝ තිදෙනෙකු දැනට ශ්‍රී ලංකාවේ සිටින බව ඔහු පැවසීය.

සිංගප්පූරුව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, ඒ පිළිබඳ තොරතුරු දැනටමත් ශ්‍රී ලංකාව සමඟ බෙදාගෙන ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ පුද්ගලයින් දෙදෙනෙකු ද විජේනායක මහත්මියගේ ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීම්වලදී හෙළිවූයේ වත්මන් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල චරිත දෙකක නම් ඉදිරි නඩුවාරයේදී අනාවරණය වනු ඇති බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top