Feb 10, 2020

CID මෙහෙයුමකින් සතොසේ වංචා රැසක ෆයිල් මාට්ටු Featured

පසුගිය ආණ්ඩුව සමයේ සතොසට අදාළව සිදුකළ රුපියල් කෝටි සිය ගණනක ආන්දෝලනාත්මක ගනුදෙනු ඇතුළත් ලිපිගොනු 67ක් කොළඹ නිවෙසක සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

එම නිවෙසේ රහසිගතව සඟවා තිබූ මෙම ලිපිගොනු අතරේ 2016-2017 වසරවලදී නැව් පිටින් මෙරටට ගෙන්වූ සහල් ගනුදෙනුවලට අදාළ ලිපිගොනුද තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

සතොස ආයතනය තුළ තිබිය යුතු මෙම ලිපිගොනු ඉන් පිට කර මේ අයුරින් සඟවා තැබීම දැඩි සැකයට තුඩුදෙන බැව් පවසන එම ආරංචි මාර්ග පසුගිය රජය සමයේ එහි සිදු කරන ලද දූෂණ හා වංචා රාශියක තොරතුරු මේ ඔස්සේ හෙළි කර ගැනීමට හැකිවී ඇති බවද වාර්තා වේ.

ජෙනරේටර් වංචාවකුත් මාට්ටු

එමෙන්ම කිලෝවොට් 200ක ධාරිතාව ඇති ජෙනරේටර් මිලදී ගන්නා බව පෙන්වමින් කිලෝවොට් 150 ධාරිතාව ඇති ජෙනරේටර් මිලට ගෙන සිදුකළ මහා වංචාවකට අදාළ ලිපිගොනුද ඒ අතරේ ඇතැයි පැවසේ.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top