Feb 12, 2020

විමල්ගේ නඩු විභාගයට දින තීන්දු වෙයි

රුපියල් මිලියන හැත්තෑ පහකට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් 07 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (12) නියම කළේය.

පැමිණිල්ලේ දෙවන හා තුන්වන සාක්ෂිකරුන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමටද මෙහිදී නියම කෙරුණි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැති අතර ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කියා සිටියේ අද දිනයේ අමාත්‍යවරුන්ගේ විශේෂ රැසවිීමක් පැවැත්වෙන බැවින් වීරවංශ මහතා ඊට සහභාගී වන බවයි.

2010 ජනවාරි මස පළවනදා සිට  2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ඉකුත් රජය සමයේ ගොනු කරනු ලැබීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top