Feb 12, 2020

නාමල්ගේ නඩුවේ වැඩිදුර විභාගය ජුලි 09 වැනිදා

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබු නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (12) නියෝග කළේය.

එහිදී සාක්ෂිකරුවන් දෙදෙනෙකු ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

මෙහිදී නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත වීමට අපේක්ෂා කරන බවත් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණය මඟින් පනවා නොමැති බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top