Feb 13, 2020

එක්නැලිගොඩ නඩුව 20 වැනිදා සිට විභාගයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ලබන 20 වැනිදා සිට විභාගයට ගැනීමට සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (13) නියම කළේය.

එහිදී මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන දුරකතන ඇමතුම් දහයකට අදාළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට අධිකරණය විසින් අවසර ලබා දුන්නේය.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top