Feb 15, 2020

පොහොට්ටු - ශ්‍රීලනිප මගුල දෑවැදි ප්‍රශ්නවලට නොකැඩෙන බව බැසිල් කියයි Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන මහ මැතිවරණයේදී එක්ව තරග කිරීම සම්බන්ධයෙන් පැවති ගැටලු මේ වන විට නිරාකරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් දෙපාර්ශ්වය සන්ධාන ගත වී තරග කිරීමට අදාළ කටයුතු මේ දිනවල සූදානම් කරන බවද පැවසේ.

එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමේ කිසිදු ගැටලුවක් මතුව නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දීගෙ හොඳට යනකොට දෑවැදි ප්‍රශ්න නිසා දිගේ නොකැඩෙන බව රාජපක්ෂ මහතා කියයි.

"මඟුල් ගෙදරක් තිබුණහම එක්කෙනෙක් දෙන්නෙක් කියනවා අපිට හොඳට කතා කළේ නෑ. කෑම රහනෑ. සැලකුවේ නැහැ කියලා කියනවා. හැබැයි මේ ජෝඩුව හොඳට ගමන යනවා නම් මඟුල කැඩෙන්නේ නැහැනේ. ඒවාගේ  ශ්‍රී ලංකා, පොහොට්ටු දීගේ කැඩෙන්නේ නෑ” යනුවෙන් ද ඔහු සඳහන් කරයි.

පොළොන්නරුව - කුරුණෑගල අපේක්ඹකයන් තේරීමේ අවුලක්

කෙසේවුවද, දෙපාර්ශ්වය අතර සාකච්ඡාවලදී කුරුණෑගල හා පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ ගැටලුවක පැටලී ඇති බවද මේ අතර වාර්තා වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත්වීමට නියමිත අතර එහිදී මනාප අරබයා අපේක්ෂකයන් අතර මතවාදී ගැටුමක් ආරම්භ වී ඇති බව පැවසේ. 

ඒ හිටපු ජනාධිපතිවරයාට වැඩි මනාප හෝ අඩු මනාප ප්‍රමාණයක් ලැබුණහොත් අත්වන අභියෝගය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ ආතර ඇති සාකච්ඡා නිසාය.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දැඩි ගැටුමකට මුහුණ පා ඇත්තේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් විශාල පිරිසක් සිටීම නිසාය. 

ආසන 14කින් යුත් කුරුණෑගල දිස්ත්‍රික්කයට අපේක්ෂකයන් 17 දෙනකු ඉදිරිපත් කළ හැකිය. 

මේ වනව විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් අට දෙනකු සිටින අතර අලුත් අපේක්ෂකයන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන සෙසු පක්ෂවල අපේක්ෂකයන්ද සිටින නිසා ලැයිස්තුව සකස් කර ගැනීමේ ගැටලු ඇති බව වාර්තා වේ.

මූලාශ්‍රය - අරුණ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top